කෝටි දෙකක මුදල් එක්ක පාතාලයාගේ 'කැෂියර්' කොළඹදී පොලිස් දැලේ
වාහන අලෙවිකරුවකු ලෙස පෙනී සිටිමින්, විදේශයක සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මුදල් භාරකරු ලෙස රහසිගතව කටයුතු කළ පුද්ගලයකු රුපියල් කෝටි දෙකකට අධික මුදලක්, ව්‍යාජ වාහන අංක තහඩු තොගයක්, සහ ඒ ආශ්‍රිත ලිපි ලේඛන තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු සන්තකයේ තිබූ රුපියල් 22,085,810/= මුදල, මුදල් ගණනය කිරීමට යොදාගත් නවීන යන්ත්‍රයක්, අපරාධ සඳහා යොදාගැනීමට ව්‍යාජව සකස් කළ ලියාපදිංචි අංක තහඩු 20ක්, ආදායම් බලපත්‍ර 21ක්, රක්ෂණ සහතික 05ක්, 9mm ජීව උණ්ඩයක්, සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12,020ක් පොලිස් බාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක හතර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල කාරියවසම්ගේ නායකත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක්, විදේශයක සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පිළිබඳ දීර්ඝ විමර්ශනයකදී, මෙම සැකකරු වත්තල, හුණුපිටිය, ගැමුණු මාවතේ නිවසක පදිංචිව එම ජාවාරම්කරුගේ මුදල් භාරකරු ලෙස කටයුතු කරන බවට ලද තොරතුරු මත නිවස වටලනු ලැබීය.
වාහන අලෙවිකරුවකු ලෙස පෙනී සිටි මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මුදල් භාරකරු ලෙස කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම මුදල් තොගය සහ අනෙකුත් දේපළ සැකකරුගේ නිවසේ අල්මාරියක තිබී හමුවූ බවත්, අංක තහඩු ත්‍රීරෝද රථ, යතුරුපැදි, සහ මෝටර් රථවලට අදාළ බවත්, රක්ෂණ සහතික සහ ආදායම් බලපත්‍රද එම වාහනවලට අයත් බවත් පොලිසිය පවසයි.
මෙම ව්‍යාජ ලේඛන සහ අංක තහඩු, විදේශයක සිටින සංවිධානාත්මක අපරාධකරුගේ උපදෙස් මත සැකකරු විසින් සකස් කර, අපරාධ සඳහා විවිධ පුද්ගලයන්ට ලබාදීමට සන්තකයේ තබා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
මෙම විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි සහ සහකාර පොලිස් අධිකාරී ඉසුරු ශ්‍රී නිශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත, වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල කාරියවසම්ගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක මහේෂ් මධුසංක, පොලිස් සැරයන් 73011 සමන්, පොලිස් කොස්තාපල්වරුන් වන 91398 බන්ඩාර, 39078 බුද්ධික, 3122 උදයංග, 96961 සමරතුංග, 104355 චාමින්ද, 96537 විජයරත්න යන නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ.