නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකයින් ගැන විශේෂ නිවේදනයක්, ගුවන්තොටුපොළත් වහයි
නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකයින් පිළිබඳව එරට තානාපති කාර්යාලය අඛණ්ඩව තොරතුරු සොයාබලමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ නේපාලයේ කත්මන්ඩු අගනුවර පැවැත්වෙන විරෝධතා නිසා කිසිදු ශ්‍රී ලංකිකයෙකුට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි.
එසේම නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් බහුතරයක් ශිෂ්‍ය වීසා මත සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
මේ වන විට නේපාලයේ කත්මන්ඩු අගනුවර පැවැත්වෙන විරෝධතා ප්රචණ්ඩ මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම එරට වාර්තා පනවා ඇති ඇඳිරිනීතියද නොතකා සිදුකරන විරෝධතා අතරතුර අගමැති ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ද ගිනි තබා ඇති බව දක්වයි.
මේ අතර එරට ගුවන්තොටුපොළද තාවකාලිකව වසා දමා ඇති බව පවසයි.
මෙසේ ඊයේ දින නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වී තිබුණේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට විරුද්ධවයි.
මෙහිදී මෙම සමාජ මාධ්‍ය වාරණයට විරුද්ධව වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන් බව වාර්තා වේ.
කෙසේ වෙතත් පුද්ගලයින් 25 දෙනෙකුට මරු කැඳවූ නේපාල විරෝධතාවලින් පසුව එරට අගමැති KP ෂර්මා ඕලි තම ධුරයෙන් ඉල්ලා අස්ව ඇත.