ඉන්දියා - පාකිස්ථාන ක්‍රිකට් ගැටුමෙන් පසු ෆාතිමා සනාට ICC දඩ - හේතුව මෙන්න
ආසියා කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ක්‍රීඩක ආචාරධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායමේ නායිකා ෆාතිමා සනාට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් පනවා තිබේ.
මෙය ICC ආචාරධර්ම සංග්‍රහයේ පළමු මට්ටමේ (Level 1) වරදක් ලෙස සැලකෙන අතර, තරගයකදී පිතිකාරිනියක් දැවී ගිය පසු ඇයට අවමන් වන හෝ ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කළ හැකි වචන, ක්‍රියා හෝ සංඥා භාවිත කිරීම සම්බන්ධ නීතියක් ඇය විසින් උල්ලංඝනය කර ඇති බව ICC සඳහන් කරයි.
ඉන්දියාවේ ඉනිමේ දෙවැනි පන්දුවාරයේදී ආරම්භක පිතිකාරිනිය වූ ෂෆාලි වර්මා දවාගැනීමෙන් අනතුරුව ෆාතිමා සනා විසින් ක්‍රීඩාංගණයෙන් පිටත පිහිටි ක්‍රීඩක විවේකාගාරය දෙසට සංඥාවක් සිදුකිරීම මෙම චෝදනාවට හේතු වී තිබේ.
ෆාතිමා සනා සිය වරද පිළිගෙන ඇති අතර, ICC තරග විනිසුරු මණ්ඩලයේ සුප්‍රියා රාණි දාස් විසින් යෝජනා කළ දඬුවමද ඇය පිළිගෙන තිබේ. ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් විධිමත් විභාගයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් මතුව නොමැත.
මෙම සිදුවීමත් සමඟ ෆාතිමා සනාගේ විනය වාර්තාවට අවවාදාත්මක ලකුණක් (demerit point) ද එක් කර තිබේ. එය මාස 24ක කාලයක් තුළ ඇය සිදුකළ දෙවැනි වරද වන අතර, ඒ අනුව එම කාලසීමාව තුළ ඇයගේ සමස්ත demerit points සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇයට මීට පෙර demerit point එකක් හිමිව තිබුණේ 2025 අගෝස්තු 6 වැනිදා ඩබ්ලින්හිදී අයර්ලන්තයට එරෙහිව පැවති විස්සයි20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයේදී සිදු වූ වරදක් හේතුවෙනි.
දඬුවම් ලැබෙන්නේ කොහොමද? ICC ආචාරධර්ම සංග්‍රහයේ පළමු මට්ටමේ වැරදි සඳහා අවම වශයෙන් නිල අවවාදයක් සහ උපරිම වශයෙන් ක්‍රීඩකයාගේ තරග ගාස්තුවෙන් සියයට 50ක් දක්වා දඩයක් පැනවිය හැකිය.
එමෙන්ම demerit points එකක් හෝ දෙකක්ද ලබාදිය හැකිය. ක්‍රීඩකයෙකු මාස 24ක් ඇතුළත demerit points හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගත් විට, ඒවා suspension points බවට පරිවර්තනය කෙරේ.
එවැනි suspension points දෙකක් හිමිවුවහොත්, ක්‍රීඩකයාට එක් ටෙස්ට් තරගයක් හෝ එක්දින ජාත්‍යන්තර තරග දෙකක් හෝ විස්සයි20 ජාත්‍යන්තර තරග දෙකක් සඳහා තහනමක් පැනවිය හැකිය. Demerit points පනවා වසර දෙකක් ගත වූ පසු ඒවා ක්‍රීඩකයාගේ විනය වාර්තාවෙන් ඉවත් කෙරේ.