පාර්ලිමේන්තුවේ මන්ත්රීවරු පුටුවලිනුත් පහර දෙති - ආර්මේනියානු පාර්ලිමේන්තුවේ දරුණු ගැටුමක්
ආර්මේනියාවේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග යාමත් සමඟ එහි දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු සැසිවාරය සජීවීව විකාශය වෙමින් තිබියදී මෙම ගැටුම හටගෙන ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සිවිල් ගිවිසුම් පක්ෂයේ (Civil Contract Party) මන්ත්රී ටාරොන් චකෝයන් සහ විපක්ෂයේ ශක්තිමත් ආර්මේනියාව (Strong Armenia) කණ්ඩායමේ මන්ත්රීවරුන් අතර ඇති වූ වාදයක් මෙම ගැටුමට මුල් වී තිබෙනවා.
විපක්ෂ නායක නරෙක් කරපෙත්යන්ගේ ඥාතියෙකු මීට පෙර සිදුකළ ආන්දෝලනාත්මක ප්රකාශයක් සම්බන්ධයෙන් ටාරොන් චකෝයන් අදහස් දැක්වීමත් සමඟ දෙපාර්ශ්වය අතර මෙම උණුසුම් වචන හුවමාරුව හටගෙන ඇති බව සඳහන්.
පසුව එම වාදය උත්සන්න වී මන්ත්රීවරුන් සිය ආසනවලින් නැඟිට එකිනෙකාට පහරදීමට පටන්ගෙන තිබෙනවා.
ගැටුම අතරතුර මන්ත්රීවරුන් එකිනෙකාට පහරදෙන ආකාරය මෙන්ම පුටු විසි කරන ආකාරය ද සජීවී දර්ශනවල සටහන් වී තිබෙනවා.
එහිදී පාර්ලිමේන්තුවේ නියෝජ්ය කථානායක වහග්න් ඇලෙක්සන්යන් (Vahagn Aleksanyan) විසින් විපක්ෂ මන්ත්රීවරුන් දෙසට පුටුවක් විසි කරන ආකාරය ද එම දර්ශනවල දැකගත හැකි වී තිබෙනවා.
මෙම ගැටුමෙන් විපක්ෂ මන්ත්රීවරයෙකුගේ නාසයෙන් රුධිරය ගලා ගොස් ඇති අතර තවත් මන්ත්රීවරයෙකුගේ ඇඳුම් ඉරී ගොස් ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. එම තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත ගිලන් රථයක් ද කැඳවා තිබෙනවා.
සිද්ධිය අතරතුර පාර්ලිමේන්තු කථානායක රුබෙන් රුබින්යන් (Ruben Rubinyan) මුලදී සැසිවාරය අත්හිටුවීමකින් තොරව පවත්වාගෙන ගොස් ඇති අතර, පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා සැසිවාරයට විවේකයක් ලබාදී ආරක්ෂක නිලධාරීන් කැඳවා තිබෙනවා.
කෙසේ වෙතත්, ගැටුම පාර්ලිමේන්තු සභාගර්භයට පමණක් සීමා නොවී ඉන් පිටත කොරිඩෝව දක්වා ද පැතිර ගොස් ඇති බව වාර්තා වනවා.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්මේනියානු අග්රාමාත්ය නිකොල් පෂින්යන් (Nikol Pashinyan) ප්රකාශ කර ඇත්තේ ප්රචණ්ඩත්වය හෙළා දකින නමුත් සිය පක්ෂයේ මන්ත්රීවරුන් ගත් ක්රියාමාර්ගවලට සහාය දක්වන බවයි.
එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා නීත්යනුකූල ක්රියාමාර්ග ගත යුතු බව ආර්මේනියාවේ මානව හිමිකම් ආරක්ෂක අනහිත මනසියන් (Anahit Manasyan) ද ප්රකාශ කර තිබෙනවා.