කථානායකට එරෙහි විශ්වාසභංගය න්යාය පුස්තකයට දැමූ පසු ඉවත් කළ නොහැකියි - අජිත් පී. පෙරේරා
කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් න්යාය පුස්තකයට ඇතුළත් කර ඇති බැවින් එය ඉවත් කර ගැනීමට හෝ ප්රතික්ෂේප කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
විශ්වාසභංගය නොවැම්බර් 03 වැනිදා විවාදයට නොගන්නා බවට සභානායක අමාත්ය බිමල් රත්නායක මහතා කළ ප්රකාශයට පිළිතුරු දෙමින් මන්ත්රීවරයා සඳහන් කළේ, න්යාය පුස්තකයට ඇතුළත් කළ යෝජනාවක් ඉවත් කළ හැක්කේ එය ඉදිරිපත් කළ මන්ත්රීවරුන් සියලු දෙනා විසින් ඉල්ලා අස්කරගත හොත් හෝ පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් පමණක් බවයි. පසුගිය 12 වැනිදා භාරදුන් මෙම විශ්වාසභංගයේ දූෂණ, කාර්යපටිපාටික දෝෂ සහ පාර්ලිමේන්තු සම්ප්රදායන් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා 50ක් අන්තර්ගත වන බවත්, ඉන් චෝදනා 30කට පමණ අවශ්ය සාක්ෂි පාර්ලිමේන්තු නිලධාරීන්ගේ විමර්ශන වාර්තා හරහා මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හරහා තහවුරු වී ඇති බවත් මන්ත්රීවරයා අවධාරණය කළේය.
එමෙන්ම මෙවැනි නීතිමය ගැටලුවකදී සාම්ප්රදායිකව සිදුවන්නේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීම බවත්, 10 වැනි පාර්ලිමේන්තුව තුළ මීට පෙර අවස්ථාවලදී එසේ උපදෙස් ලබාගත්ත ද මෙම සිද්ධියේදී මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් විමසා නොමැති බවත් අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.