කලා ලොව ශෝකයේ ගිල්වමින් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහලගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

By Kanchana Oct 23, 2026 06:41 AM GMT
Report

ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ. ඒ මහතාගේ දේහය අද (23) පෙරවරුවේ සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.

වේදිකා නාට්‍ය, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් රහල් බුලත්සිංහල මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය. රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් තිබේ.

දශක ගණනාවක් පුරා දිවෙන සිය රංගන ජීවිතයේදී වේදිකා නාට්‍ය රැසකට එක්වූ ඔහු, ‘පාතාලය සොල්දාදුවෝ’ සහ ‘බයිසිකලේ වාඩිය’ ඇතුළු නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්විය. එමෙන්ම, ‘මහින්දාගමනය’, ‘රෝදේ’ සහ ‘මල්මාලා’ ඇතුළු චිත්‍රපටවලට ද ඔහු රංගනයෙන් දායක වී තිබේ.

‘නාඩගම්කාරයෝ’ ඇතුළු ටෙලි නාට්‍ය ඔස්සේ ද ඔහු සිය රංගන හැකියාව ප්‍රේක්ෂකයන් වෙත ගෙන ආවේය.

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ මහත්මියගේ (කෝපි කඩේ දයාවතී) සැමියා වූ රහල් බුලත්සිංහල මහතාගේ අභාවය කලා ක්ෂේත්‍රයට සිදුවූ පාඩුවකි. ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාව වෙත පැමිණිය හැකි අතර, අවසන් කටයුතු ඉරිදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.