ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළවූ කීර්තිමත් හිටපු මලල ක්‍රීඩකයෙකු හදිසියෙම යන්න යයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රය 1970 සහ 80 දශකයන්හි ජාත්‍යන්තරයට රැගෙන ගිය විශිෂ්ට දුර ධාවකයෙකු වූ විශ්‍රාමික මේජර් ඩබ්ලිව්.ජී. ආරියසේන මහතා අද (13) දින උදෑසන මාතලේ නගරයේ දී සිදුවූ හදිසි අනතුරකින් මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මියයන විට ඔහු 74 වන වියේ පසුවූ බව සඳහන්. ඔහු මෙරට ක්‍රීඩා ඉතිහාසය වෙනුවෙන් ජීවිතයේ වැඩි කාලයක් කැපකළ ක්‍රීඩකයෙක් ලෙසත් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය හමුවේ බැබළවූ කීර්තිමත් මලල ක්‍රීඩකයෙකු ලෙසත් හඳුන්වයි.
ඔහු 1982 වසරේ ඉන්දියාවේ පැවති 9 වන ආසියානු ක්‍රීඩා උළෙල සහ 1987 සිංගප්පූරුවේ පැවති 6 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය නියෝජනය කරමින් මව්බිමට අභිමානයක් ළඟා කර දුන් අතර 1980 වසරේ සිට 1989 තෙක් වසර 9ක් පුරා මීටර් 1500 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් පා ඇත.
ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දැඩි විරෝධය මැද සමස්ත ක්‍රිකට් ක්ෂේත්‍රයම කැළඹෙයි - ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පොලීසියෙන් අමානුෂික ප්‍රහාරයක්
එසේම 1976 වසරේ සිට 1980 දක්වා නොකඩවා පස් වතාවක්ම ජාතික මැරතන් ශූරතාව දිනාගත් ඔහු, 1979 සිට 1984 දක්වා කාලය තුළ මීටර් 5000 සහ 10000 ඉසව්වන්හිද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ ක්‍රීඩකයෙක්.
70 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට (ස්වේච්ඡා බළකාය) එක්වෙමින් රටට සේවය ආරම්භ කළ ඔහු, 1980 වසරේ දී ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා නිලධාරිවරයෙක් ලෙස පත්විය.
එහෙත් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුවත් නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට සහ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඔහු දුන් දායකත්වය අතිමහත් වේ.
ඒ අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ විනිසුරුවරයෙකු මෙන්ම ජාතික තාක්ෂණික නිලධාරීවරයෙකු වශයෙන් වසර 35කට අධික කාලයක් ඔහු සිදුකළ අඛණ්ඩ සේවය සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයේම ගෞරවයට පාත්‍ර වේ.
ඩබ්ලිව්.ජී. ආරියසේන මහතා මාතලේ නාඋල ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙක් ද විය.