මුළු ගමක් යට කළ ඛේදවාචකයක් - කාටවත් හොයා ගන්න බැරි වුණ සිරුරු නිවසේ සුනඛයා සොයා දෙයි
මාතලේ, පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්බොක්ක ගම්මානයේ කඳුපන්තිය මේ වනවිට අවදානම් තත්ත්වයක පවතින බව වාර්තා වේ.
පැවති වර්ෂාව සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබෙන අතර ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අවදානය ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් යොමුකර ජනතාව දැනුවත් කරන ලෙසයි.
එසේම ඉකුත්දා ඇති වූ ආපදා තත්ත්වය සමඟ කන්දක් නායයෑමෙන් ගම්මානයේ නිවසක සිටි එකම පවුලේ හත්දෙනෙකු ජීවිතයෙන් සමුගෙන තිබුණා.
එසේ මියගිය අයගේ දේහයන් මිහිදන් කළ ද මේ වනවිටත් එම ප්‍රදේශය පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇත. එසේම පස්වලට යටවූ නිවසේ සුන්බුන් පවා සොයාගැනීමට නොහැකි බව ගම්මුන් සඳහන් කරයි.
එහෙත් මේ සියල්ල මැද එම ස්ථානයෙන් ඉතා සංවේදී පුවතක් වාර්තා වේ.
එනම් එකම පවුලේ හත්දෙනෙකු පස් අතර සැඟව ගොස් සිටියදී ඔවුන්ගේ සිරුරු සෙවීම ඉතා අසිරු වූ මොහොතක නිවසේ සිටි සුනඛයා පස් අතර සැඟවුණු නිවැසියන්ව සොයා ගැනීමට සමත්ව තිබීමයි.
මේ වන විට අම්බොක්ක ගම්මානයේ පවුල් අසූවක් පමණ ඉවත් කොට විහාරස්ථානයක සහ ඔවුන්ගේ පෞද්ගලික හිතවත් නිවෙස්වල ජීවත් වන බව ගම්මුන් ප්‍රකාශ කරයි. එසේම නායයෑම් සිදුවීම නිසා නිරන්තරයෙන් නිලධාරීන් පැමිණ ඉවත් වෙන ලෙසට දැනුම්දී ඇති බව ද ඔවුන් කියයි.
එසේ වුවද ප්‍රදේශවාසීන් පවසන්නේ නිසි වාර්තාවක් හෝ අධ්‍යයනයක් නොමැතිව මෙසේ නිවෙස්වලින් ඉවත්වෙන සේ දැනුම්දීම නිසා තමන්ට ස්ථාවරත්වයක් සකසා ගැනීම අසීරු වී ඇති බවයි.
එබැවින් පාසල් ආරම්භයට පෙර ඉක්මනින් ගම්මානයේ ආපදා තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාදෙන මෙන්ද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන්.