උෂ්ණත්වය ඉහළ යයි - ලංකාවට රැකියා 145,000ක ශ්රම ඵලදායිතාව අහිමිවීමේ අවදානමක්
ගෝලීය උෂ්ණත්වය ඉහළයාමත් සමග සේවා ස්ථානවල ඇතිවන දැඩි රශ්මිය හමුවේ 2040 වසර වන විට ශ්රී ලංකාවට පූර්ණ කාලීන රැකියා 145,000ක පමණ ශ්රම ඵලදායිතාවක් අහිමි විය හැකි බව ජාත්යන්තර කම්කරු සංවිධානය විසින් සිදු කරන ලද නවතම අධ්යයනයකින් අනාවරණය කර තිබේ.
එම වාර්තාවට අනුව අධික උෂ්ණත්වය හේතුවෙන් ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ සේවකයන්ගේ සෞඛ්යයට, ඵලදායිතාවයට සහ ආර්ථිකයන්ට දැනටමත් සෘජු බලපෑම් එල්ල වෙමින් පවතියි.
සේවකයන්ට වැඩි වශයෙන් විවේක ගැනීමට සිදුවීම, වැඩ කිරීමේ වේගය අඩාල වීම සහ විවිධ සෞඛ්ය ගැටලු උද්ගත වීම මීට ප්රධාන හේතු වී ඇති අතර, මේ නිසා 2040 වන විට ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සිදුවන සමස්ත අලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 26ක් පමණ වනු ඇතැයි ද ගණන් බලා ඇත.
විශේෂයෙන් එළිමහනේ දැඩි ශාරීරික ශ්රමයක් වැය කරන කෘෂිකර්මාන්තය සහ සේවා ක්ෂේත්රය මීට දැඩි ලෙස ගොදුරු වේ. මෙම තත්ත්වයෙන් ශ්රමිකයන් ආරක්ෂා කරගැනීම සඳහා වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්යය පිළිබඳ ජාතික මාර්ගෝපදේශ සකස් කළ යුතු බව පෙන්වා දෙන ILO සංවිධානය, සූර්ය රශ්මිය අධික වේලාවන් මඟහැරෙන පරිදි සේවා කාලය සංශෝධනය කිරීම, විවේක කාලසටහන් සකස් කිරීම සහ සේවා ස්ථානවල සෙවන හා ප්රමාණවත් පානීය ජලය ලබාදීම වැනි ක්රියාමාර්ග කඩිනමින් හඳුන්වා දිය යුතු බව වැඩිදුරටත් අවධාරණය කරයි.