“හර්මන්ප්‍රීත් කෝර්ගේ විශ්මිත උඩපන්දුවේ ඇත්ත එළියට''- සමාජ මාධ්‍ය කළඹූ වීඩියෝව Deepfake වීඩියෝව [VIDEO]

By Malith Madushan Sep 11, 2026 02:00 PM GMT
Report

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා හර්මන්ප්‍රීත් කෝර් විසින් විශ්මයජනක ලෙස උඩපන්දුවක් රැකගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් තිබුණද, එය සත්‍ය වීඩියෝවක් නොවන බව අනාවරණය වී තිබේ.

එම වීඩියෝවේ දැක්වෙන්නේ ක්‍රීඩිකාවක් පන්දුව රැකගැනීම සඳහා වේගයෙන් දිව ගොස්, ඉන් අනතුරුව පෙරළියක් සිදුකරමින් අතිශය අපූරු ආකාරයෙන් උඩපන්දුව රැකගන්නා ආකාරයයි. වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී ඇති අතර, ඇතැම් පරිශීලකයන් එය හර්මන්ප්‍රීත් කෝර් විසින් රැකගත් උඩපන්දුවක් ලෙසද හඳුන්වා තිබේ.

කෙසේ වෙතත්, එම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කළ Deepfake වීඩියෝවක් බව අනාවරණය වී ඇත. බොහෝ දෙනෙකු විනෝදාස්වාදය සඳහා මෙම වීඩියෝව හුවමාරු කර තිබුණද, මෙවැනි කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද වීඩියෝ හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් නොමඟ යාමේ අවදානමක් පවතින බව විශේෂඥයෝ පෙන්වා දෙති.

“පිටිය පුරා දුවන ඉම්රාන් තහීර්ගෙන්” ලෝක වාර්තාවක් - අවුරුදු 47දී කඩුලු 5ක් දවාගනී

“පිටිය පුරා දුවන ඉම්රාන් තහීර්ගෙන්” ලෝක වාර්තාවක් - අවුරුදු 47දී කඩුලු 5ක් දවාගනී

Deepfake යනු කුමක්ද?

Deepfake යනු පුද්ගලයන්ගේ මුහුණු, හඬ හෝ වෙනත් දෘශ්‍ය හා ශ්‍රව්‍ය තොරතුරු භාවිත කරමින් කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ හෝ ශ්‍රව්‍ය නිර්මාණ වේ. තාක්ෂණයේ දියුණුවත් සමඟ මෙවැනි නිර්මාණ සැබෑ වීඩියෝවකින් වෙන්කර හඳුනාගැනීම වඩාත් අපහසු වී තිබේ.

Deepfake තාක්ෂණය භාවිත කරමින් පුද්ගලයන් පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම, ඔවුන්ගේ කීර්තිනාමයට හානි කිරීම මෙන්ම පෞද්ගලිකත්වයට බලපෑම් කිරීමද සිදුවිය හැකිය.

විශේෂයෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන් මෙවැනි තාක්ෂණික අවභාවිතයන්ගේ ඉලක්ක බවට පත්වීමේ අවදානම ඉහළ ගොස් තිබේ.

Deepfake අවදානමෙන් ආරක්ෂා වන්නේ කෙසේද?

සමාජ මාධ්‍ය ඔස්සේ පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධ කිරීමෙන් වැළකීම, සමාජ මාධ්‍ය ගිණුම්වල පෞද්ගලිකත්ව සැකසුම් ඉහළ මට්ටමක පවත්වා ගැනීම සහ ශක්තිමත්, අනන්‍ය මුරපද භාවිත කිරීම මගින් අවදානම අවම කරගත හැකිය.

එමෙන්ම, විශ්වාසදායක ප්‍රතිවෛරස මෘදුකාංග භාවිත කිරීම සහ සැක සහිත වීඩියෝ හෝ ඡායාරූප හුවමාරු කිරීමට පෙර ඒවායේ සත්‍යතාව පරීක්ෂා කිරීමද වැදගත් වේ.

අසාමාන්‍ය ලෙස පරිපූර්ණ හෝ විශ්වාස කිරීමට අපහසු දර්ශන සහිත වීඩියෝ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර, අවශ්‍ය අවස්ථාවල ඡායාරූප සහ වීඩියෝ සඳහා ජල සලකුණු (Watermarks) යෙදීමද අනවසර භාවිතය අවම කිරීමට උපකාරී වේ.

එමෙන්ම, ඩිජිටල් ගොනුවල ඇතුළත් Metadata නිවැරදිව පවත්වා ගැනීම මගින් එහි හිමිකාරීත්වය, නිර්මාණය කළ දිනය සහ අනෙකුත් වැදගත් තොරතුරු තහවුරු කිරීමට හැකි වන අතර, එය අන්තර්ගතය සම්බන්ධයෙන් ඇතිවන හිමිකාරීත්ව ගැටලු හෝ ආරවුල්වලදී සාක්ෂියක් ලෙසද භාවිත කළ හැකිය.

ඉන්දියා - පාකිස්ථාන ක්‍රිකට් ගැටුමෙන් පසු ෆාතිමා සනාට ICC දඩ - හේතුව මෙන්න

ඉන්දියා - පාකිස්ථාන ක්‍රිකට් ගැටුමෙන් පසු ෆාතිමා සනාට ICC දඩ - හේතුව මෙන්න