ටෙක්සාස් හදිසි ගංවතුරෙන් 43 දෙනෙකු මිය යයි - ළමුන් 15ක් ඇතුළුව
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සිකුරාදා (04) අලුයම ග්වාඩලූප් ගඟේ ජල මට්ටම ඉහළ යාමට හේතුවූ දැඩි වර්ෂාපතනයත් සමඟ මෙම ගංවතුර තත්ත්වය ඇතිවූ අතර, දිවි ගලවා ගත් පුද්ගලයින් සොයා දැඩි සෝදිසි මෙහෙයුම් මේ වන විටත් සිදුවෙමින් පවතී.
අතුරුදන්වූවන් සෙවීම සඳහා හෙලිකොප්ටර් යානා 14ක්, ඩ්‍රෝන යානා 12ක්, ගලවා ගැනීමේ බෝට්ටු සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නවයක් සමඟ සහන සේවකයින් 500කට අධික පිරිසක් යොදවා ඇති අතර, මේ වන විට පුද්ගලයින් 850කට ආසන්න සංඛ්‍යාවක් බේරාගෙන ඇත.
ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී ග්වාඩලූප් ගං ඉවුරේ පිහිටි කඳවුරකට විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, එහි සිටි වයස අවුරුදු 12ට අඩු ගැහැණු ළමුන් ඇතුළු 27 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර, හදිසි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා තම පරිපාලනය පළාත් පාලන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත්, ඕනෑම ආධාරයක් ලබාදීමට සූදානම් බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
ගංවතුර හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ විදුලි සැපයුම බිඳවැටී ඇති අතර, මෙය ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජාතික කාලගුණ සේවය පවසන පරිදි, තවමත් ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බැවින්, මධ්‍යම ටෙක්සාස්හි ගංවතුර තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකිය.
එමෙන්ම, කඳුකර රට සහ කොන්චෝ නිම්න ප්‍රදේශ සඳහා ආපදා අනතුරු ඇඟවීම් නිවේදනද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
