හැරී බෲක් පිටිය සිසාරා පහර දෙමින් වේගවත්ම ලකුණු 200ත් වාර්තා කරයි - ශ්රී ලංකාවට ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක්
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සමඟ පැවැත්වෙන තරගයේදී දැවැන්ත පිතිහරඹයක නිරත වූ එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 429ක් රැස් කළේය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 430ක ඉලක්කයක් හිමිව තිබේ. එංගලන්ත ඉනිමේ කැපීපෙනෙන ක්රීඩකයා වූ නායක හැරී බෲක් පන්දු 116කින් ලකුණු 202ක් රැස් කළේය.
ඊට හයේ පහර 10ක් සහ හතරේ පහර 21ක් ඇතුළත් විය. මෙය බෲක්ගේ එක්දින ක්රිකට් දිවියේ පළමු ද්විත්ව ශතකය වන අතර, පන්දු 114කින් ද්විත්ව ශතකය සම්පූර්ණ කරමින් එක්දින ජාත්යන්තර පිටියේ වේගවත්ම ද්විත්ව ශතකයේ වාර්තාව ද ඔහු සතු කරගත්තේය.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ පන්දු 117කින් ද්විත්ව ශතකය සම්පූර්ණ කළ ඉන්දීය නායක ශුබ්මන් ගිල්ය. එංගලන්ත ඉනිම ශක්තිමත් කළ විල් ජැක් නොදැවී ලකුණු 66ක්, ජෝ රූට් ලකුණු 69ක් සහ ටොම් බෙන්ටන් ලකුණු 50ක් රැස් කළහ.
එංගලන්තය එක්දින ජාත්යන්තර තරගයකදී ලකුණු 400 සීමාව පසු කළ අටවැනි අවස්ථාව මෙය වන අතර, රාවල්පින්ඩි ක්රීඩාංගණයේදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම එක්දින ලකුණු සංඛ්යාව ලෙස ද මෙම ලකුණු 429 සටහන් විය.