ආර්ථිකය වර්ධනය කරන්න ගේන අලුත්ම කාර්යය

By Sithumi Dec 01, 2022 04:37 PM GMT
Sithumi

Sithumi

Report

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය. විදුලිබිල නැවත වරක් වැඩි කිරීමේ සූදානමක්. මෙරට අවසාන වරට විදුලි බිලට සංශෝධනයක් ගෙන ආවේ 2022 අගෝස්තු මාසයේදීය. 

එහිදී විශාල ලෙස විදුලි බිල වැඩි කරන ලදී. එසේ තිබියදී 2023 ජනවාරි පළමුවැනිදා සහ 2023 ජූනි මස නැවත වරක් විදුලි බිල වැඩි කිරීම සදහා විදුලිබල අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එම යෝජනාවෙහි දැක්වෙන්නෙ විදුලිබල මණ්ඩලයේ පාඩුව මකා ගැනීම සදහා සෑම වසරකම ජනවාරි හා ජුනි මාසයේදී විදුලි බිලට සංශෝධනයක් ගෙන ආ යුතු බවයි. 

 විදුලි බිල වැඩි කිරීම සදහා නීතියේ ප්‍රතිපාදන ඇත. ඒ පිළිබදව 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලි පනතේ 30 වගන්තියේ පැහැදිලිව සදහන් කර ඇත. විදුලි බිලෙහි සංශෝධනයක් කිරීම සදහා වන යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂම වෙත ඉදිරිපත් කළ යුතුය මහජන උපයෝගීතා විසින් එකී යෝජනාවෙහි සදහන් කරුණු කෙරෙහි අවධානය යොමු කර අවශ්‍ය ගණනය කිරීම් සිදුකිරීමෙන් අනතුරුව මහජන අදහස් විමසීමක් කළ යුතුය. 

විදුලි බිල සංශෝධනය කරනුයේ ඊට පසුය. එසේ තිබියදී නීතියට පටහැනි ලෙස මුදල් අමාත්‍යවරයා සහ විදුලි බල අමාත්‍යවරයා විසින් විදුලිබිල වැඩි කිරීම සදහා යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගෙන ඒම නීති විරෝධී හා සදාචාර විරෝධීවේ. විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ විදුලිබල මණ්ඩලයේ පවතින අදූරදර්ශී පාලනය නිසා හා වංචා දූෂණ නිසා වන බැවින් එහි පාඩුව පාරිභෝගිකයා වෙත පැටවීම අසාධාරණ හා නීති විරෝධිවේ. 

 මෙහිදී විදුලි බිල වැඩිකිරීමට යෝජනා කර ඇත්තේ ගෘහස්ථ පාරිභෝගිකයින්ට හා කර්මාන්තකරුවන්ටය. 2023 වර්ෂයේදී විශාල ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තුවන බව රජය ප්‍රකාශ කරද්දී මෙසේ විදුලි බිල වැඩි කිරීම හාස්‍යජනකය. ආයෝජකයින්ට ආයෝජන සදහා ලංකාවට පැමිණීමට නම් මෙහි යටතල පහසුකම් හා සේවා ගාස්තු අඩුවිය යුතුය. 

දේශීය කර්මාන්තකරුවනට නිෂ්පාදන වැඩි කළ හැක්කේ නිෂ්පාදන සාධකවල මිල අඩුවුවහොත් පමණි. ඒ අතින් බැලුවද විදුලි බිල වැඩි කිරීම අණුවන ක්‍රියාවකි. කෙසේ වෙතත් වර්තමාන අමාත්‍යවරයාගේ සමයේ විදුලි බිල දෙවතාවක් වැඩි කිරීමෙන් පෙනී යන්නේ විදුලිබල අමාත්‍යවරයාගේ අසාර්ථක භාවයයි.

ආයතනය පාඩු ලබන විට එම පාඩුව ගාස්තු වැඩිකර පාරිභෝගිකයාගෙන් ලබා ගැනීමට නම් අමාත්‍යවරයෙක් සිටීමෙන් ඵලක් නැත. විදුලි පාරිභෝගිකයා අමාත්‍යවරයාගෙන් බලාපොරොත්තු වන්නේ නිසි කළමණාකරනයකින් යුක්තව සාධාරණ ගාස්තුවකට විදුලි බලය ලබා ගැනීමය. ඒ නිසා අප රජයෙන් ඉල්ලා සිටින්නේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලිය වැඩි කිරීම සදහා වන යෝජනාව වහා හකුලා ගන්නා ලෙසයි. රංජිත් විතානගේ සභාපති පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය