මුළු ලංකාවටම ඉතා දරුණු අනතුරක් අත ළඟ - ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව මේ වන විට සියයට 36 දක්වා පහළට
දිවයිනට බලපා ඇති එල්-නිනෝ කාලගුණික විපර්යාසය හමුවේ පැවැත්වෙන දැඩි අධික තාපය සහ වියළි කාලගුණය හේතුවෙන් වියළි කලාපයේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
තෙත් කලාපයේ ජලාශවල ජල මට්ටම සාමාන්‍ය පරිදි පැවතුණද, දිවයිනේ ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව මේ වන විට සියයට 36 දක්වා අඩුවී ඇති බව වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.
විශේෂයෙන්ම හම්බන්තොට, මඩකලපුව, මොනරාගල, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි ජලාශ කිහිපයකම ජල ධාරිතාව සියයට 30 ටත් වඩා පහළ බැස ඇත.
අධික තාපය හේතුවෙන් වැව් සහ ජලාශවල ජලය වේගයෙන් වාෂ්පීකරණය වන බැවින්, පවතින සීමිත ජල සම්පත පානීය සහ පාරිසරික අවශ්‍යතා සඳහා වෙන් කිරීමට සිදුව තිබේ.
මේ නිසා ප්‍රදේශ කිහිපයකම කෘෂිකාර්මික වගා කටයුතු සඳහා නිකුත් කරන ජල ප්‍රමාණය සීමා කිරීමට පියවර ගෙන ඇත. තවද පවතින වියළි වාතාවරණය හමුවේ ලැව්ගිනි ඇතිවීමේ දැඩි අවදානමක් ද පවතින බැවින් මහජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත්, ජලය ඉතා පරෙස්සමෙන් භාවිත කළ යුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මේ අතර, එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23 ක් පුරා පවුල් 25,628 කට අයත් පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටියි.
පවතින දැඩි පානීය ජල හිඟයට පිළියමක් ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ක පවුල් 23,048 ක පුද්ගලයින් 72,153 දෙනෙකු වෙත බවුසර් රථ මගින් පානීය ජලය බෙදා හැරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා තිබේ.