නව ව්‍යවසායකයින්ට රු. මිලියන 80,000ක ණය පහසුකම්
නව ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පුළුල් කිරීමට රුපියල් මිලියන අසූ දහසක් (80,000) වෙන්කරමින්, මුදල් අමාත්‍යාංශය සහ බැංකු අතර ඒකාබද්ධ ණය වැඩසටහනක් 2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත සහා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ රැස්වීමේදීයි.
2026 අයවැයෙන් වෙන්කළ රු. මිලියන 80,000 මුදල මගින් නව ව්‍යවසායකයින්ට අඩු පොලියට ණය ලබාදීම ජනවාරි මාසයේදීම ණය ලබාදෙන අංශ, ණය මුදල්, සුදුසුකම් සහ අයදුම් ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතය
කර්මාන්තකරුවන්ගේ සියලුම තොරතුරු එකම ඩිජිටල් පද්ධතියක රැස්කිරීමට ජාතික කර්මාන්තකරු දත්ත පද්ධතිය ආරම්භ කර ඇති බවත්, එම පද්ධතියට ලියාපදිංචි වූ ව්‍යවසායකයින්ට රජයේ සහ බැංකු සේවා ඉක්මනින් ලබාගත හැකි බවත් අමාත්‍යාංශය පවසයි. ලියාපදිංචිය සඳහා ජාතික මට්ටමේ ප්‍රචාරක වැඩපිළිවෙළක් ඉදිරියේදී ආරම්භ වේ.
වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ පැවති අඩුපාඩු නිවැරදි කිරීමෙන් පසු මාසික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් 150-180 සිට මෙට්‍රික් ටොන් 400 දක්වා වැඩිකර ගැනීමට හැකිවී ඇති බව කර්මාන්ත ශාලා ප්‍රධානීහු කාරක සභාවට දැනුම් දුන්හ.
දැනට ව්‍යාකූල ලෙස ක්‍රියාත්මක වන කැණීම් (බලපත්‍ර) බලපත්‍ර ක්‍රමය වඩාත් ක්‍රමවත් කිරීමට ජාතික උපදේශක මාලාවක් 2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කෙරේ.
ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි ශිල්පීන්ට ඇප රහිත ණය පහසුකම් ලබාදීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා වූ බව වාර්තා වේ.