කෞතුකාගාරයක තියන්න වටිනා ලෝක වාර්තාගත ආභරණය - ශිල්පීන් 15 දෙනෙක් පැය 1,000ක් තිස්සේ හදපු Fantasy Bra එකේ අලුත්ම වාර්තාව

Report

2018 වසරෙන් පසු පළමු වරට Victoria’s Secret සන්නාමය සිය සුප්‍රකට විලාසිතා වේදිකාවට නැවත හඳුන්වා දුන්, වටිනා දියමන්ති සහ මැණික් ඔබ්බවන ලද ‘Fantasy Bra’ නිර්මාණය සඳහා මෙවර තෝරාගෙන තිබුණේ රියැලිටි රූපවාහිනී තාරකාවක මෙන්ම සාර්ථක රූපලාවණ්‍ය ව්‍යවසායිකාවක ද වන Kylie Jenner ය.

සමාජ මාධ්‍ය තුළ අතිවිශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ඇය, Instagram හි මිලියන 380ක පමණ අනුගාමිකයන් පිරිසක් සිටින ප්‍රසිද්ධ චරිතයකි. 29 හැවිරිදි ජෙනර් විනිවිද පෙනෙන කෙටි සායක්, විනිවිද පෙනෙන විලුඹ සහිත පාවහන් සහ සුදු පැහැති පිහාටු සහිත පියාපත් යුගලයක් පැළඳ විලාසිතා වේදිකාවට පිවිසියාය.

කෙසේ වෙතත්, එහිදී සියල්ලන්ගේම අවධානය දිනාගත්තේ ඇය පැළඳ සිටි අතිසුඛෝපභෝගී ‘Fantasy Bra’ නිර්මාණයයි. මෙම සුවිශේෂී නිර්මාණය යළිත් කරළියට ගෙන ඒම සඳහා Victoria’s Secret ආයතනය විශාල පරිශ්‍රමයක් දරා තිබිණි.

කැරට් 75.54ක බරින් යුත්, දීප්තිමත් කහ පැහැති ‘Fancy Vivid Yellow’ වර්ගයේ රේඩියන්ට් කට් දියමන්තියක් කේන්ද්‍ර කරගනිමින් ස්වභාවික දියමන්ති 4,410ක් ඔබ්බවා මෙම නිර්මාණය සකස් කර තිබේ.

මෙය නිර්මාණය කිරීම සඳහා ශිල්පීන් 15 දෙනෙකු පැය 1,000කට අධික කාලයක් වැය කර ඇති අතර, නිම කළ නිර්මාණයේ බර රාත්තල් හතරකට මඳක් අඩුය. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

එය මෙතෙක් නිර්මාණය කළ Fantasy Bra නිර්මාණයක් සඳහා වාර්තා වූ ඉහළම වටිනාකම වන අතර, මීට පෙර පැවති වාර්තාවට වඩා ඩොලර් මිලියන 35ක පමණ වැඩිවීමකි. Victoria’s Secret හි ප්‍රධාන නිර්මාණ නිලධාරී Adam Selman මෙම නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, මෙවර විලාසිතා දැක්මේ ප්‍රධාන සංකල්පයක් වූයේ රසික උන්මාදය සහ ජනප්‍රිය සංස්කෘතියේ බලපෑම බවයි.

පසුගිය වසරේ පැවති විලාසිතා දැක්මේදී වැඩිම ඉල්ලුමක් හිමි වූ අංග අතර Fantasy Bra නිර්මාණය ද පැවති බව ඔහු සඳහන් කළේය. ඒ අනුව, මෙවර එය වඩාත් විනෝදාත්මක හා අතිවිශිෂ්ට අයුරින් ඉදිරිපත් කිරීමට ආයතනය තීරණය කළ බව ද ඔහු පැවසීය.

මෙය හුදෙක් විලාසිතා අංගයක් පමණක් නොව, කෞතුකාගාරයක ප්‍රදර්ශනය කිරීමට තරම් වටිනාකමක් ඇති විශිෂ්ට ආභරණයක් සහ කලා නිර්මාණයක් බව ද Adam Selman වැඩිදුරටත් අවධාරණය කළේය

Gallery