ඛේදවාචකයක් - ටීවි එක විකුණන්න දුන් නෑ කියලා වදපු මව හිත්පිත් නැතිව ඝාතනය කළ බව කියන පුත්රයෙක් රිමාන්ඩ්
මත්ද්රව්ය මිලදී ගැනීමට නිවසේ තිබූ රූපවාහිනී යන්ත්රය විකිණීමට උත්සාහ කිරීමේදී එය වැළැක්වීමට ගිය මවට පහරදී ඝාතනය කළැයි කියන සිද්ධියට අඳාළ තරුණයෙක් එළඹෙන 30 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව වත්තල, හේකිත්ත ප්රදේශයේදී මෙම අපරාධය සිදුව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචිව සිටි 58 හැවිරිදි සුසිලා ද සිල්වා නමැති මවක් වන අතර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ 29 හැවිරිදි තරුණයෙක් බව සඳහන්.
මෙම සැකකරු මත්ද්රව්ය මිලදී ගැනීමට මුදල් සොයාගැනීමේ අරමුණින් නිවෙසේ තිබූ රූපවාහිනී යන්ත්රය රැගෙන ගොස් අලෙවි කිරීමට උත්සාහ කර තිබෙන බවත්, එහිදී මරණකාරිය ඊට දැඩි ලෙස විරුද්ධ වී පුත්රයාගේ ක්රියාව වැළැක්වීමට උත්සාහ කර ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
එම අවස්ථාවේදී කෝපයට පත් පුත්රයා විසින් මවට දරුණු ලෙස පහරදී ඇති බවත්, මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්.
මේ අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඉකුත් 16 වැනිදා පෙරවරුවේ ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණා.