මේ රාජ්‍ය සේවකයන් දැවැන්ත වැඩ වර්ජනයක - හෙට තීරණාත්මක දවසක්
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය ගැටලු විසඳීම සඳහා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කිරීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එසේ නොවුණහොත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව එළඹෙන බ්‍රහස්පතින්දා දින ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය අනිවාර්යෙන්ම සිදු කරන බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිති වෙත හෙට (14) දිනයේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබා දී තිබේ.
හෙට පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් නිසි විසඳුම් නොලැබුණහොත් සැලසුම් කර ඇති පරිදිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බව වෘත්තීය සමිති නායකයෝ අවධාරණය කරති.
මෙම වැඩවර්ජනය සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට දුම්රිය මගී සංගම්වල සහය ද ලැබී තිබීම විශේෂත්වයකි. දුම්රිය ප්‍රමාද වීම් ඇතුළු මගී ගැටලුවලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් තමන් ද මෙම වැඩවර්ජනයට සහය දක්වන බව හීන්දෙණිය, පට්ටිගොඩ එක්සත් දුම්රිය මගී සංගමයේ සභාපති ආර්.ඒ. රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.