මහජන උපයෝගීතා කොමිසමින් විශේෂ දැනුම්දීමක් - මාස 2ක් පුරා කාලය දුන් මේ කාලය අදින් අවසන්
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ආශ්‍රිතව ජනනය කරනු ලබන විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් තීරණය කිරීම සඳහා ආරම්භ කරන ලද මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලිය අද (22) දිනෙන් අවසන් වන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
මෙලෙස ලබාගන්නා අදහස් සහ යෝජනා පදනම් කරගනිමින් ඉදිරි මාස 6ක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි පුනර්ජනනීය විදුලිය මිලදී ගැනීමේ මිල තීරණය කිරීමට නියමිත බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසීය.
ශ්‍රී ලංකා විදුලිබල ප්‍රතිසංස්කරණ පනතේ ප්‍රතිපාදනවලට අනුව, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් නිපදවන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම් වෙත මිලදී ගැනීමේදී අදාළ මිල සහ මිල සූත්‍රය තීරණය කිරීමේ හා අනුමත කිරීමේ බලය හිමිවන්නේ මහජන උපයෝගීතා කොමිසම වෙතය.
ඒ අනුව සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය ප්‍රභවයන් උදෙසා අදාළ මිල සූත්‍ර දැනටමත් සකස් කර අනුමත කර තිබේ.
එම මිල සූත්‍රවලට අනුකූලව විදුලි මිල ගණන් තීරණය කිරීම සම්බන්ධයෙන් මාස දෙකකට පමණ පෙර මහජන උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කළ අතර, එහිදී විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වා අවශ්‍ය දත්ත ලබාගැනීමට පියවර ගෙන තිබේ.