මීගොඩ සලිත කළ හිටපු මන්ත්‍රී ඝාතනයේ තවත් කතා එළියට, මැරෙන්න පණ අදිද්දි ජීවිතය අයැදූ සංවේදී කතාව
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් 'බනා' නම් පුද්ගලයා අද (12) දින මීගොඩ ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර තිබුණා.
ඒ අනුව මෙම ඝාතනය මෙහෙයවා ඇත්තේ ලලිත් කන්නංගර හෙවත් 'බස් ලලිත්' නමැත්තා බවට පොලීසිය සැක පළ කරන බව සඳහන්.
කෙසේ වෙතත් ඝාතනය සිදුවී සුළු වේලාවකට පසු වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නට තලංගම පොලීසියට හැකියාව ලැබුණා.
එසේම අපරාධයට යොදාගත් බව කියන ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන ඇත. දහවල් 1:10ට පමණ මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී සිදු කළ මෙම වෙඩිතැබීම ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි අයෙක් ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
මෙම වෙඩි ප්‍රහාර යතුරුපැදිකරුට එල්ල කිරීමත් සමග ඔහු යතුරුපැදියෙන් බිමට පැන අසලවූ නිවසකට දිවගොස් ඇති අතර අනතුරුව ඔහු එහි සිටි කාන්තාවකට තමන්ට වෙඩිවැදී ඇති බවත් කඩිනමින් තමා රෝහල්ගත කරන ලෙසත් පවසා ඒ අසලවූ ත්‍රීරෝද රථයකට නැඟීමත් සමග ඉන් ඇදවැටී ඇති බව සඳහන්.
එසේම ඔහු ඒ සමග ම තම ජංගම දුරකථනයෙන් කිසිවෙකුට ඇමතුමක් ලබාගැනීමට ද උත්සාහ කර ඇති අතර එයද සාර්ථක වී නැති බව පවසයි.
මේ අනුව අසල්වාසීන් සිද්ධිය පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය පැමිණ වහාම තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්ත ද එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
මේ අතර පොලීසිය ක්ෂණික මාර්ග බාධක යොදා රථ වාහන පරීක්ෂා කිරීමක් සිදුකළ අතර එහිදී තලංගම, පාලම්තුන හංදිය ප්‍රදේශයේදී සැක සහිත සුදු පැහැති මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එය වෙඩික්කරු පැමිණි රථය බවට අනාවරණය වී ඇත.
එහිදී මෝටර් රථයේ රියදුරු හා වෙඩිතැබීමට භාවිත කළ බවට සැක කෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවිය තලංගම පොලීසිය තම භාරයට ගෙන තිබෙනවා.
එහෙත් ඒ වන විටත් වෙඩික්කරු මෝටර් රථයෙන් බැසගොස් තිබුණා. එහෙත් අත්අඩංගුවට පත්වූ රියදුරාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරු පිළිබඳව ලද තොරතුරු අනුව වෙඩික්කරු හා තවත් අයෙකු පොලිසිය මගින් අද පස්වරුවේ තලංගම, පාලම්තුන හංදිය අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි වැදී මියගිය ශාන්ත මුදුන්කොටුව හෙවත් 'බනා මන්ත්‍රි' වයස අවුරුදු 46ක හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙක් වේ.
ඔහු ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර ද සිදුකළ අයෙක් බවද පොලිසිය සඳහන් කළ අතර ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් නිසා මීට දින කිහිපයකට පෙර මීගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර තිබෙනවා.
එසේම ඔහු ගගන නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බවද පොලීසිය වාර්තා කරයි. එහිදී වැඩිදුරටත් සඳහන් වූයේ ඝාතනයට ලක්වූ පුද්ගලයා ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නමැත්තාගේ නම භාවිත කරමින් විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවත් ඊට පළිගැනීමක් වශයෙන් බස් ලලිත් නමැත්තා මෙම ඝාතනය සිදුකර ඇති බවත් ය.