"අනෙක් රැඳවියන් දැකලා බේරගත්තත් වැඩක් වුණේ නෑ'' - මොනරාගල තරුණයාගේ මරණය ගැන කළුතර උතුර පොලීසියෙන් විමර්ශන
By Kanchana
කළුතර බන්ධනාගාරය තුළදී ගෙල වැලලා ගැනීමට උත්සාහ කළ රැඳවියෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල, වැලියාය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි.
මත්කුඩු සම්බන්ධ චෝදනාවක් මත අදාළ රැඳවියා පසුගිය ඔක්තෝබර් 31 වැනිදා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළුතර බන්ධනාගාරයට යොමු කර තිබේ.
බන්ධනාගාරයේ වැසිකිළියක් තුළදී ඔහු ගෙල වැලලා ගැනීමට උත්සාහ කරමින් සිටියදී තවත් රැඳවියන් පිරිසක් දැක ඔහු බේරාගෙන ඇති බව වාර්තා වේ.
අනතුරුව බන්ධනාගාර බලධාරීන් විසින් ඔහු නාගොඩ කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ රැඳවියා මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.