බිඳවැටුණු රටක් අතට ගත් හැටි මෙන්න..රු.507ක් වුන ඩීසල් ලීටරය රු.407ට දුන්නා..

Report

පසුගිය පාලකයන්ට බලය හිමිවන විට ක්‍රියාත්මක වෙමින් ඉදිරියට ගිය රජයන් පැවතියද, වත්මන් ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූයේ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම සමස්ත ආර්ථිකයද මුළුමනින්ම බිඳවැටී තිබූ රටක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පොළොන්නරුවේ පැවති ගොවි රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, වාහන ආනයනයේ සිට කඩවත - මීරිගම අධිවේගී මාර්ගය, කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය, උතුරු මැද මහා ඇළ සහ පහළ මල්වතු ඔය ව්‍යාපෘති දක්වා සංවර්ධන කටයුතු රැසක් පසුගිය පාලන සමයේ අතරමඟ නතර වී තිබූ බවයි.   

එමෙන්ම රට පුරා රෝහල් ගොඩනැගිලි රැසක ඉදිකිරීම් කටයුතුද නතර වී තිබූ බව ඔහු සඳහන් කළේය.

“ණය ගෙවන්න බැරි බව කියා රට බංකොලොත් කළා”

ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කර රට බංකොලොත්භාවයට පත්වීම හේතුවෙන් විදේශ ණය සහ ආධාර පවා රටට අහිමි වූ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර ණයහිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගත් බවත්, ඒ අනුව 2028 වසරේ සිට ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට සහන කාලයක් ලබාගත් බවත් ඔහු පැවසීය.

ඉන් අනතුරුව නතරව තිබූ සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමටත්, විදේශ ආධාර ලබාගැනීම සඳහා අවශ්‍ය මාර්ගය විවෘත කර ගැනීමටත් හැකි වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථිකය ස්ථාවර කිරීම ප්‍රමුඛ අභියෝගයයි   

ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට පෙර රටේ අස්ථාවරව පැවති ආර්ථිකය ස්ථාවර කිරීම රජය හමුවේ තිබූ ප්‍රමුඛතම අභියෝගය වූ බවද ජනාධිපතිවරයා පැවසීය.

අද වන විට තෙල් පෝලිම්, ගෑස් හිඟය හෝ විදුලි කප්පාදු පිළිබඳ බියකින් තොරව ජනතාවට ජීවත් විය හැකි ස්ථාවර තත්ත්වයක් රට තුළ ඇති කර ඇති බව ඔහු අවධාරණය කළේය.

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගිය අවස්ථාවේදී පවා මෙරට තුළ තෙල් පෝලිම් ඇතිවීමට ඉඩ නොදුන් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඩීසල් ලීටරයක මිල රුපියල් 507ක්ව පැවති අවස්ථාවේ රුපියල් 100ක සහනාධාරයක් ලබාදෙමින් එය රුපියල් 407කට ජනතාවට ලබාදීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.   

අර්බුද හමුවේ ආර්ථිකය ශක්තිමත් කළා

ඩිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ දැවැන්ත හානිය මෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේද මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරමින් ජන ජීවිතය ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ඕනෑම අභ්‍යන්තර හෝ බාහිර අර්බුදයකට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් මේ වන විට ගොඩනගා ඇති බවද ඔහු අවධාරණය කළේය.

වසර 30කට පසු මහා භාණ්ඩාගාරයේ ඉහළම ආදායම වාර්තා කිරීමට වත්මන් ආණ්ඩුව සමත්ව ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.