අවුරුදු ගාණක ඉඳන් රටම බලන් ඉන්න පළාත් සභා ඡන්ද අර්බුදය විසඳන්න විශේෂ යෝජනාවක්
වසර නවයක් තිස්සේ පළාත් සභා ඡන්දය පවත්වා නොමැති බැවින් කඩිනමින් එය පැවැත්වීමට ක්‍රියා කරන ලෙසත් එය පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමයට පවත්වන ලෙසටත් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.
ඒ අනුව පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ සම්බන්ධයෙන් සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ඉකුත් දින පාර්ලිමේන්තුවේදී රැස්ව ඇත.
දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි
එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා, පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් දැනට බලාත්මකව පවතින 2017 අංක 17 දරන පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම නිසා පැන නැගී ඇති නීතිමය බාධාව හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ගැටලුව මතුව ඇති බව පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව විපක්ෂය නියෝජනය කරමින් සාමාජික මන්ත්‍රීවරයන් අදහස් දක්වමින්, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව වැදගත් ආයතනවලින් බහුතරයක් පාලනය වන්නේ පළාත් සභා ඔස්සේ බව ද පෙන්වා දී ඇත. එබැවින් දැනට වසර 9ක් පළාත් සභා නොපැවැත්වීම ඔස්සේ ගැටලු රැසක් පැන නැගී ඇති බවත් ඔවුන් සඳහන් කර ඇත.
එහිදී මෙම පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය වන සමානුපාතික ක්‍රමය ඔස්සේ පවත්වා, අනතුරුව මෙම ඡන්ද විමසීමේ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂය නියෝජනය කරමින් පැමිණි සාමාජික මන්ත්‍රීවරයන් යෝජනා කර ඇති බව වාර්තා වේ.
ඊට අමතරව කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම හා තරුණ නියෝජනය මෙම පළාත් සභා ඡන්ද විමසීමේදී ලබාදීම ආදී ඡන්ද ක්‍රමයක් සකස් කිරීම සඳහා වඩාත් පුළුල් හා ගැඹුරු සංවාදයක් ඇති වීමේ වැදගත්කම සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටි බව සඳහන්.
එබැවින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට දැනට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීමේ වැදගත්කම සිහිපත් කළ සභාපතිවරයා, ඒ වෙනුවෙන් මීළඟ රැස්වීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට යෝජනා කර තිබෙනවා.
එසේම මෙම විශේෂ කාරක සභාව පළමු රැස්වීමේ දින සිට මාස 3ක් තුළ වාර්තාව ඉදිරිපත් කළ යුතු බවද සභාපතිවරයා මෙහිදී සිහිපත් කර ඇති බව සඳහන්.
මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් සහ සාමාජික මන්ත්‍රීවරයන් වන ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර්, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ, ලක්ෂ්මන් නිපුණආරච්චි, යන අය සහභාගී වී ඇති බව සඳහන්.