හිටපු ප්‍රබල දේශපාලකයන් ඇතුළු 500කගේ වත්කම් ලිපිගොනු අල්ලස් කොමිසම අවුස්සයි
By Malith Madushan
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පුද්ගලයන් 500කට අධික පිරිසකගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
කොමිසම වෙත ලැබුණු පැමිණිලි මත මෙම විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර, විමර්ශනයට ලක්වන පිරිස අතර හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සහ රාජ්‍යයේ උසස් නිලධාරීන් පිරිසක් ද සිටින බව වාර්තා වේ.
අදාළ පුද්ගලයන් විසින් ඉදිරිපත් කර ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ ද මෙම ක්‍රියාවලියේදී පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.
විශාල පිරිසකගේ වත්කම් සම්බන්ධයෙන් එකවර මෙවැනි විමර්ශනයක් ආරම්භ කිරීම විශේෂ අවස්ථාවක් බව කොමිසමේ නිලධාරියෙකු සඳහන් කර ඇත.
වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා ලබාදුන් කාලසීමාව අවසන් වී ඇති බැවින්, එම නීතිමය වගකීම ඉටු නොකරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට කොමිසමට හැකියාව පවතින බව සඳහන් වේ.