UNICEF එකෙන් රටවල් 21ට භයානක වාර්තාවක් - වසරක් තුළ ළමුන් මිලියන 20ක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපයෝජනයට
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිකුත් කළ නව වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ රටවල් 21ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් මිලියන 20කට ආසන්න පිරිසක් වසරක කාලයක් තුළ ඩිජිටල් අවකාශයන් ඔස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි.
අඳාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ අප්‍රිකාව, ආසියාව, ලතින් අමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය ඇතුළු රටවල වයස අවුරුදු 12ත් 17ත් අතර අන්තර්ජාලය භාවිත කරන ළමුන්ගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වැඩි පිරිසක් පසුගිය වසර තුළ අවම ලෙස එක් ආකාරයක ලිංගික අපයෝජනයකට මුහුණ දී ඇති බවයි.
එසේම එහිදී ළමුන් මිලියන 15කට පමණ අනවශ්‍ය ලිංගික අන්තර්ගතයන්ට මුහුණ දීමට සිදුව තිබෙන අතර, මිලියන 9ක් ලිංගික සංවාදවලට හෝ ලිංගික ඡායාරූප හුවමාරු කිරීමට බලපෑම්වලට ලක්ව ඇති බව සඳහන්.
එමෙන්ම තවත් ළමුන් මිලියන 4ක පමණ ලිංගික ඡායාරූප ඔවුන්ගේ අවසරයකින් තොරව බෙදාහැර ඇති බවද හෙළි වී තිබෙනවා.
තවද වාර්තාවට අනුව සිදුවීම්වලින් 60%කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත්තේ Facebook, WhatsApp, Instagram, Snapchat සහ TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා බව සඳහන්.
ඒ අනුව අන්තර්ජාල ක්‍රීඩා ආශ්‍රිතව සිදුවූ සිදුවීම් ප්‍රමාණය 14% ක් පමණ වේ. එහි විශේෂත්වයක් වන්නේ මෙවැනි සිදුවීම්වලින් අඩකට වැඩි ප්‍රමාණයකට ළමයා දැන සිටි පුද්ගලයෙකු සම්බන්ධ වී තිබීමයි.
එමෙන්ම තවත් 38%ක සිදුවීම්වලදී ළමයා පළමුව අපයෝජකයා හඳුනාගෙන ඇත්තේ අන්තර්ජාලය ඔස්සේයි.
ඊට අමතරව UNICEF සඳහන් කරන්නේ ළමුන් සම්බන්ධ සිදුවීම්වලින් 1%කටත් අඩු ප්‍රමාණයක් පොලීසියට, සමාජ සේවකයෙකුට හෝ උපකාරක සේවාවකට වාර්තා කර ඇති බවයි.
රටේ ප්‍රධානතම විදුලි උත්පාදන මූලාශ්‍රය වූ නොරොච්චෝලය දැවැන්ත අර්බුදයක - පාරිභෝගික විදුලි ගාස්තුවට රතු එළියක්
කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද ලිංගික අන්තර්ගතයන් සම්බන්ධයෙන්ද වාර්තාව අවධානය යොමු කර ඇත. දත්ත එක්රැස් කළ රටවල් 9කදී ළමුන් මිලියන 1.1ක් පමණ තමන් නිරූපණය වන කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ ලිංගික ඡායාරූප හෝ වීඩියෝ නිර්මාණය කර ඇති බව සඳහන්.
එමෙන්ම UNICEF පෙන්වා දෙන්නේ තාක්ෂණය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වූ ළමුන් අතර සියදිවි නසාගැනීමේ සිතුවිලි හෝ තමන්ටම හානි කරගැනීමේ හැසිරීම් වාර්තා වීම අනෙකුත් ළමුන්ට සාපේක්ෂව සිව් ගුණයකින් පමණ වැඩි බවයි.
ඒ අනුව අඳාළ පර්යේෂණය 2020 සිට 2025 දක්වා කාලය තුළ රටවල් 21ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් 21,000කට ආසන්න පිරිසක් සම්බන්ධ කර ගනිමින් සිදුකර ඇති අතර, එය මෙවැනි ආකාරයේ සිදුකර ඇති විශාලතම අධ්‍යයනවලින් එකක් බව UNICEF පෙන්වා දෙයි.
එමෙන්ම ළමා ආරක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම, නව ආකාරයේ අපයෝජන ඇතුළත් වන පරිදි නීති යාවත්කාලීන කිරීම සහ වාර්තා කිරීමේ හා ළමා ආරක්ෂණ පද්ධති වැඩිදියුණු කරන ලෙස UNICEF රජයන්ගෙන් සහ තාක්ෂණික සමාගම්වලින් ඉල්ලා ඇත.