“ට්‍රම්ප්ගේ රුව සහිත අලුත් ඩොලරයේ කාසියක් ඇමෙරිකාවෙන්” – ඇමෙරිකාවේ 250 වැනි සංවත්සරය වෙනුවෙන් නව කාසියක්
ඇමෙරිකාවේ 250 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ විශේෂ ඩොලර් 1 කාසියක් අමෙරිකානු මින්ට් ආයතනය විසින් අලෙවියට නිකුත් කර තිබේ.
එම කාසියේ එක් පසෙක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුවත්, අනෙක් පසෙක ඇමෙරිකා එක්සත් ජනපදයේ මහා රාජ්‍ය මුද්‍රාවත් (Great Seal) නිරූපණය කර තිබීම විශේෂත්වයකි.
කාසියේ මෙම සැලසුම සඳහා ඇමෙරිකානු ලලිත කලා කොමිසමේ අනුමැතියද මේ වසරේ හිමිව ඇති අතර, එහි සාමාජිකයින් පත් කරනු ලැබ ඇත්තේද ජනාධිපති ට්‍රම්ප් විසිනි.
ජනාධිපතිවරයෙකුගේ රුව කාසියකට ඇතුළත් කිරීම අසාමාන්‍ය කරුණක් බව ට්‍රම්ප් මීට පෙර සඳහන් කර තිබූ අතර, එවැනි ආකාරයෙන් ගෞරවයට පාත්‍ර වීම පිළිබඳව තමන් සතුටු වන බවද ඔහු පවසා තිබුණි. කෙසේ වෙතත්, ජීවත්ව සිටින ජනාධිපතිවරයෙකුගේ රුව ඇමෙරිකානු මුදල්වල නිරූපණය කිරීම සම්බන්ධයෙන් පවතින ෆෙඩරල් නීති හේතුවෙන් මෙම කාසිය සම්බන්ධයෙන් විවේචනද එල්ල වී තිබේ.
එහෙත් විශේෂ කාසි නිෂ්පාදනය සහ නිකුත් කිරීම සඳහා ඇතැම් අවස්ථාවලදී භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවතින බව සඳහන් වේ. කාසියේ ට්‍රම්ප්ගේ රුවට ඉහළින් “LIBERTY” යන වචනයත්, පහළින් “1776 - 2026” යන සටහනත් දැක්වේ.
අනෙක් පසෙහි ඇමෙරිකානු මහා රාජ්‍ය මුද්‍රාව නිරූපණය කර ඇති අතර, එහි රාජාලියා එක් පාදයකින් ඊතලද අනෙක් පාදයෙන් ඔලිව් අත්තක්ද රැගෙන සිටී. රාජාලියාගේ හොටෙහි ඇති පටියක “E PLURIBUS UNUM” යන ලතින් පාඨය සඳහන් කර ඇති අතර, එහි අර්ථය “බොහෝ දෙනාගෙන් එක් අයෙක්” යන්නයි.'
කාසි 25කින් සමන්විත පැකේජයක් ඇමෙරිකානු ඩොලර් 61කටද, කාසි 100ක පැකේජයක් ඩොලර් 154.50කටද මිල කර තිබේ. මෙම විශේෂ කාසි අතර ජූලි 4 වැනිදා නිෂ්පාදනය කළ කාසි කිහිපයක් අහඹු ලෙස ඇතුළත් කර ඇති බවද අමෙරිකානු මින්ට් ආයතනය සඳහන් කරයි.
එම කාසි “July 4th” ලෙස සලකුණු කර ඇති අතර, එම දිනය ඇමෙරිකානු නිදහස් ප්රකාශනයේ සංවත්සරයයි. දැනට එක් පවුලකට මෙම කාසි සඳහා ඇණවුම් දෙකක් පමණක් ලබාදීමට සීමා පනවා තිබේ. කෙසේ වෙතත්, අමෙරිකානු මින්ට් වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ කාසිය ඇණවුම් කළ හැකි නමුත් මේ වනවිට තොග අවසන්ව ඇති බවත්, නව තොගයක් සකස් කරමින් පවතින බවත්ය.