දෙදිනක් අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණියක් යළි හමුවෙයි
සොමාවතිය චෛත්‍ය මාර්ගයේ සුංගාවිල රක්ෂිතයේදී අතුරුදන් වූ 19 හැවිරිදි තරුණියක් දින දෙකකට පසු නිරුපද්‍රිතව සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලිසිය සඳහන් කළේ පුලස්තිගම පොලිසිය, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී තඹාල වැව ආසන්නයේදී ඇයව මෙසේ සොයාගෙන ඇති බවයි.
වැලිකන්ද, මොනරතැන්න ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය ඉකුත් 2 වැනි දින උදෑසන හිතවතෙකු සමඟ යතුරුපැදියකින් සොමාවතිය මාර්ගයේ පැමිණ සුංගාවිල රක්ෂිතය ආසන්නයේදී යතුරුපැදිය නවතා කැලෑවට ඇතුළු වී ඇත.
එහිදී දෙදෙනා වෙන්වීමෙන් පසු තරුණිය අතරමංව ඇති අතර, ඇය සොයා ගිය තරුණයාටද ඇය සොයාගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
මේ අතර, රක්ෂිතයේ මාර්ගය අසල හිමිකරුවෙකු නොමැති යතුරුපැදියක් ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය සිදුකළ සෝදිසියේදී එම තරුණයා සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
පසුව තරුණිය සොයා පොලිස් නිලධාරීන් 60 දෙනෙකු, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් 65 දෙනෙකු පමණ එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සඳහන්.
අඳාළ මෙහෙයුම අතරතුර තඹාල වැව ආසන්නයේ තරුණියක් සිටින බවට ලැබුණු තොරතුරක් මත එහි ගිය පොලිස් නිලධාරීන් ඇය සොයාගෙන ඇත.
පොලිසියට ඇය පවසා ඇත්තේ කැලෑවේදී තරුණයාගෙන් වෙන්වීමෙන් පසු අතරමං වූ බවත්, රාත්‍රියේ ගසක් යට රැඳී සිටි බවත්ය.
ආයේ වාහනයක් ගැන හිතන්නවත් වෙන්නෑ.. වාහන මිල යළිත් අහස උසට - මේ වාහන මාදිලිවල මිල රු. මිලියන 4.5ක් දක්වා ඉහළට
එමෙන්ම කැලෑවේ වන අලි සැරිසරන නමුත් තමන්ට කිසිදු අනතුරක් සිදු නොවූ බවත්, සතුව තිබූ ජල බෝතලයේ ජලය පානය කරමින් කැලෑවෙන් පිටතට පැමිණ තඹාල වැව ආසන්නයට ළඟා වූ බවත් ඇය පොලිසියට සඳහන් කර ඇත.
අනතුරුව තරුණිය දෙමාපියන් වෙත භාරදී පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
එසේම තරුණිය සමඟ කැලෑවට ගිය තරුණයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 8 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්. එසේම මේ පිළිබඳව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.