පාරවල් හදන වැඩ නතර වෙන ලකුණු - මැද පෙරදිග යුද්ධය නිසා ලංකාවට බිටුමන් හිඟයක්

Report

මැද පෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සහ ආනයන සැපයුම්වලට එල්ල වී ඇති බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවේ බිටුමන් (Bitumen) හිඟයක් මතුව තිබේ. මේ හේතුවෙන් මෙරට මාර්ග ඉදිකිරීම් හා සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩකටයුතු ප්‍රමාද වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2026 සැප්තැම්බර් මාසයට අදාළ නවතම මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශක (Purchasing Managers’ Index - PMI) වාර්තාවට අනුව, මාර්ග ඉදිකිරීම් සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන බිටුමන් හිඟය, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට බලපාන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත.

එම වාර්තාවට අනුව, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ PMI අගය අගෝස්තු මාසයේදී 59.4ක් ලෙස වාර්තා වූ අතර, සැප්තැම්බර් මාසයේදී එය 57.8ක් දක්වා පහත වැටී තිබේ. කෙසේ වෙතත්, අදාළ දර්ශකය වර්ධනය පෙන්නුම් කරන 50 සීමාවට ඉහළින් පැවතීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය අඛණ්ඩව වර්ධනය වන බව මහ බැංකුව සඳහන් කරයි.

එහෙත් පෙර මාසයට සාපේක්ෂව දර්ශකයේ අගය පහත වැටීමෙන් වර්ධන වේගය යම් මන්දගාමී වීමක් පෙන්නුම් කරයි. මෙම බිටුමන් හිඟයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මැද පෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ප්‍රවාහනයට එල්ල වී ඇති බාධා බව වාර්තාවේ දැක්වේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට බිටුමන් සපයන ප්‍රධාන රටක් වන ඉරානයෙන් සිදු කෙරෙන සැපයුම්වලට මෙම තත්ත්වය බලපා තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සඳහන් කර ඇති පරිදි, 2026 පෙබරවාරි සහ මාර්තු මාසවල සිට ඉරානයෙන් බිටුමන් ආනයනය කිරීමේදී බාධා මතුවී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මාර්ග නඩත්තු කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව තිබේ.

මාර්ග නඩත්තු සහ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට මසකට අවම වශයෙන් බිටුමන් මෙට්‍රික් ටොන් 20,000ක් අවශ්‍ය වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්. ඒ. හෙට්ටිආරච්චි මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

මෙම සැපයුම් ගැටලුවට විසඳුමක් ලෙස කසකස්තානය, බහරේනය, චීනය, ඉන්දියාව, මැලේසියාව සහ තායිලන්තය ඇතුළු විකල්ප වෙළෙඳපොළවල් වෙතින් සීමිත ප්‍රමාණවලින් බිටුමන් ලබා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

හෝර්මූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැවකට බෝම්බ ප්‍රහාරයක් - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල මාරාන්තික ලෙස ඉහළට

හෝර්මූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැවකට බෝම්බ ප්‍රහාරයක් - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල මාරාන්තික ලෙස ඉහළට

එහෙත් මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ජාත්‍යන්තර නාවික ප්‍රවාහනයේ පවතින අවිනිශ්චිතතාව, ප්‍රවාහන වියදම් සහ රක්ෂණ සීමා කිරීම් හමුවේ අවශ්‍ය සැපයුම් ප්‍රමාණය සපයා ගැනීම අභියෝගයක් වී තිබේ.

මේ අතර, රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන නව ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ලැබීම හේතුවෙන් සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් සඳහා යම් ශක්තියක් ලැබී ඇති බව ද මහ බැංකුව පෙන්වා දෙයි.

ඒ බව තහවුරු කරමින් නව ඇණවුම් දර්ශකය (New Orders Index) අගෝස්තු මාසයේදී පැවති 62.5ක අගයේ සිට සැප්තැම්බර් මාසයේදී 65.6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය ඉදිකිරීම් කටයුතු සඳහා පවතින ඉල්ලුම අඛණ්ඩව වර්ධනය වන බවට සාධකයකි. කෙසේ වෙතත්, ඉදිකිරීම් ද්‍රව්‍ය හිඟය, නිපුණතා සහිත ශ්‍රමිකයන්ගේ හිඟය සහ සැපයුම්කරුවන්ගේ බෙදාහැරීමේ කාලය දීර්ඝ වීම තවදුරටත් ක්ෂේත්‍රයට බලපාන ප්‍රධාන අභියෝග ලෙස පවතී.

මෙවැනි බාධා රැසක් පැවතියද, අලුතින් ප්‍රදානය කරනු ලබන ව්‍යාපෘති හේතුවෙන් ඉදිරි මාස තුන තුළ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් සමාගම් සුබවාදී අපේක්ෂාවකින් පසුවන බව මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය සමස්තයක් ලෙස වර්ධනයක් පෙන්නුම් කළද, අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුමේ පවතින ගැටලු විසඳා ගැනීම මාර්ග සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇත.

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්