වහාම ක්‍රියාත්මක වන පරිදි යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් එරට හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළ 60 හැවිරිදි ඔලෙක්සැන්ඩර් සර්ස්කි එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
එරට ආරක්ෂක අමාත්‍ය 35 හැවිරිදි මයිකයිලෝ ෆෙදොරොව් ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ රට පුරා දින කිහිපයක් පැවැති දැඩි විරෝධතාවලින් අනතුරුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය නවීකරණය කිරීම, හමුදාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ දූෂණය පිටුදැකීම වෙනුවෙන් ෆෙදොරොව් ප්‍රශංසාවට ලක්ව සිටිය ද, හමුදාව තුළ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට මැලිවන පැරණි සෝවියට් මතධාරී නායකයෙකු ලෙස සර්ස්කිට දැඩි විවේචන එල්ල වී තිබුණි.
ධුරයෙන් ඉවත් කරන ලද සර්ස්කි වෙනුවට යුද අත්දැකීම් බහුල 43 හැවිරිදි ජෙනරාල් මයිකයිලෝ ඩ්‍රපටි (Mykhailo Drapatyi) නව හමුදාපතිවරයා ලෙස පත්කර ඇත.
2022 වසරේ රුසියානු ආක්‍රමණයේ මුල් අවධියේ කියුව් නගරය ආරක්ෂා කිරීම ඇතුළුව සර්ස්කි ඉටුකළ සේවය අගය කරමින් සෙලෙන්ස්කි සමාජ මාධ්‍ය සටහනක් ද තබා ඇති අතර, හිටපු ආරක්ෂක අමාත්‍ය ෆෙදොරොව්ට රජයේ වැදගත් නව තනතුරක් ලබාදීමට යෝජනා කර ඇති බව ද පැවසීය.
නව හමුදාපති ලෙස පත් වූ ඩ්‍රපටිට සුබ පැතුම් එක්කළ ෆෙදොරොව් සඳහන් කළේ, මෙම පත්කිරීම නිදහස සහ යුක්තිය වෙනුවෙන් වන අරගලයට නව බලාපොරොත්තුවක් වන බවයි.