දේශබන්දුට මොකක් වෙයිද?පොලිස්පති පුටුව උණුසුම් වෙයි
ධුරයේ රාජකාරි සිදුකිරීම තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳව විමර්ශන කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත වරක් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුව ඇත.
ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට වන යෝජනා සම්මතය එළඹෙන අගෝස්තු මස 05 වැනිදා විවාද කිරීමට තීරණය වීමත් සමඟ බව සඳහන්.
ඒ අනුව කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා දිනයේදී රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳ තීරණය වී ඇති අතර ඒ අනුව අගොස්තු 05 වැනි අඟහරුවාදා පෙරවරු 11.30 පස්වරු 04.00 දක්වා දේශබන්දු තෙන්නකෝන් මහතා 2002 අංක 05 දරණ නිල ධරයෙන් ඉවත් කිරීමේ (ක්‍රියා පටිපාටිය) පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කිරීමට වන යෝජනාව විවාදයට ගනු ඇති බව වාර්තා වේ.
ඉන්පසුව එම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව සදහන්. ලංකා ඉතිහාසයේ පොලිස්පතිවරයෙක් පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කරන ලද පළමු පාර්ලිමේන්තු කමිටුවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ගැන දිගු විමර්ශනයක් සිදුකර ඇත.
එහි අවසාන ප්‍රතිඵලය කථානායකවරයා වෙත භාරදී ඇති අතර මේ වන විට ඉතිරිව ඇත්තේ විවාදය පවත්වා ඔහුව පොලිස්පති ධුරයෙන් නෙරපා හැරීමට පමණක් බවද වාර්තා වේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා 36 වන පොලිස්පතිවරයා වන අතර ඔහු 2024 වසරේ පෙබරවාරි 26 වන දින එම ධුරයට පත්ව තිබෙනවා.
ඔහුව එම ධුරයට පත් කිරීම පිළිබඳව විවාදාත්මක තත්ත්වයක් පැවැති අතර යම් හෙයකින් පාර්ලිමේන්තු විවාදයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කළහොත් එසේ සිදුකරනු ලබන පළමු පොලිස්පතිවරයා ඔහු වෙන බව සඳහන්.
එසේම මේ වන විට ඔහුව පොලිස්පති ධුරයෙන් නෙරපා හැරීමේ ඡන්ද විමසීමේ යෝජනාවට ඡන්දය ලබා දීම පිළිබඳව දේශපාලන පක්ෂ අතරද මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ සමගි ජන බලවේගය අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබෙන බවයි.
එහෙත් ඒ පිළිබඳව අවසන් තීරණයක් නැති අතර ලබන සඳුදා දින පැවැත්වෙන සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදි මේ පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බව පවසයි.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කරනු ඇති බවයි.
කෙසේ වෙතත් මෙම යෝජනාව සම්මත වීමට නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සෑම මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් එනම් 113 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කළ යුතු වීම අනිවාර්ය වේ.
එසේම යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපා හරිනු ඇති බව සඳහන්.
එසේ ඔහුව නෙරපා හැරියොත් එම ධූරයේ මීලඟ පොලිස්පති සම්බන්ධයෙන්ද දැනටම කතාබහක් පවතී. වත්මන් වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කටයුතු කරන අතර ඔහු 2024 වසර වසරේ සැප්තැම්බර් මස 24 වැනිදා එම ධුරයට පත්ව තිබෙනවා.
කෙසේ වුවද රජයේ ආරංචි මාර්ග අනුව දැනට වැඩබලන පොලිස්පතිවරයා නිත්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වීමට නියමිත අතර පොලිස්පති ධුරයට වර්තමානයේ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන ලලිත් පතිනායක මහතාගේ නමද යෝජනා වී ඇති බව වාර්තා වේ.
