පාන් මිල අද සිට ඉහළට - පාන් සහ බේකරි නිෂ්පාදනවල නව මිල මෙන්න
ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල අද සිට රුපියල් 5කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ. පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම පිළිබඳව විමසීමේදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා මේ බව ප්රකාශ කළේය.
මීට අමතරව, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 5කින් ඉහළ දමා ඇත. සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, මීට දින 10කට පමණ පෙර මෙරට තිරිඟු පිටි බෙදාහරින සමාගම් විසින් කිලෝග්රෑමයක මිල රුපියල් 13කින් ඉහළ දැමූ බවයි. මෙරට පවතින සම්ප්රදායට අනුව, තිරිඟු පිටි මිල ඉහළ යන විට පාන් මිල ද වහාම ඉහළ දැමිය යුතුව තිබුණි.
කෙසේ වෙතත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා මාධ්ය හමුවකදී ප්රකාශ කළේ, තිරිඟු පිටි මිල ඉහළ දැමීම නීති විරෝධී බවත්, ඒ පිළිබඳව තමන්ට කිසිදු පූර්ව දැනුම් දීමක් සිදු කර නොතිබූ බවත්ය.
තවද, විදේශගතව සිටින අමාත්ය වසන්ත සමරසිංහ මහතා නැවත දිවයිනට පැමිණ, අදාළ සමාගම් සමඟ සාකච්ඡා කර විසඳුමකට එළඹෙන තෙක් පාන් මිල ඉහළ නොදමන ලෙස එම අධිකාරිය ඉල්ලා සිටියේය.
රජයේ සහ අදාළ අධිකාරියේ මෙම ඉල්ලීමට ගරු කරමින්, බේකරි හිමියන්ගෙන් දැඩි බලපෑම් එල්ල වුවද, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පසුගිය දින 10 පුරා මිල ඉහළ නොදමා ඉවසිලිවන්තව කටයුතු කළේය.
අමාත්යවරයාගේ පැමිණීමෙන් පසු සාකච්ඡා මාර්ගයෙන් නිසි විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ ද, එවැන්නක් සිදු නොවීය. ඒ අනුව, ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ද, අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල (කෑම වර්ගවල) මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇත. මෙම ප්රමාදය සම්බන්ධයෙන් ඔහු බේකරි හිමියන්ගෙන් සිය කණගාටුව ද පළ කළේය.