උසස් වීම් දීලා නෑ - පොලිස් කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
කැබිනට් තීරණයක් මගින් නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කර සිටි පොලිස් සහයක සේවා අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට හිමිවිය යුතු උසස් වීම් ලබා නොදීමෙන් ජාතික පොලිස් කොමිසම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව, ඔවුන්ට හිමිවිය යුතු ජ්‍යෙෂ්ඨත්වය සහ වෘත්තීය ප්‍රගතිය යථා තත්ත්වයට පත් කරන ලෙස ද වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර ඇත.
ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවලට අදාළව සුදුසුකම් සපුරා තිබියදී හිමිවිය යුතු උසස් වීම් ලබා නොදීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පොලිස් සහයක සේවා අංශයේ සේවය නියුතු කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිත්වාසිකම් පෙත්සම් පහක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පසුගිය 25 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙම පෙත්සම් විභාගයට ගෙන තිබුණේ අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරු මඩුල්ල හමුවේය.
සහකාර පොලිස් අධිකාරීවරුන් වන කේ. ටී. ටී. දේවප්‍රිය අබේවර්ධන, එස්. බී. පී. එම්. පී. ජී. වයි. බණ්ඩාර තාරක සෙනෙවිරත්න, පී. එම්. කේ. පී. ගුණවර්ධන හා පොලිස් අධිකාරී කේ. බී. සේනාරත්න යන මහත්ම මහත්මීන් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුනේ පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයින් ඇතුළු පිරිසකි.
