අහස උසට යන ලංකාවේ වාහන මිල
රේගුවෙන් රඳවාගෙන ඇති වාහන නිසා වෙළෙඳපොළේ වාහන සැපයුම අඩුවීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රුද්‍රිගු මහතා පවසයි.
ඒ අනුව මේ හේතුවෙන් වෙළෙඳපොළේ දැනට පවතින වාහනවල මිල ඉහළ යා හැකි බවද ඔහු පෙන්වා දෙයි.
එසේම අඳාළ ගැටලුව සෘජුවම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට බලපාන හෙයින් ඊට කඩිනමින් ප්‍රායෝගික විසඳුමක් ලබා දෙන මෙන් ඔහු ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා ඇති බව ද වාර්තා වේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රේගුවේ රඳවාගෙන සිටින වාහන නිසා බොහෝ ආනයනකරුවන් දැනටමත් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.
මේ අතර ඇතැම් වාහනවලට ණයවර ලිපි ගෙවීම් පවා සම්පූර්ණ කර ඇති බවත්, රඳවාගෙන සිටින කාලය තුළ නැව් ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් රුද්‍රිගු මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම මෙම අමතර පිරිවැය වාහනයේ අවසාන ආනයනික පිරිවැයට එකතු වන බවද ඔහු සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයට අනුව, ඔවුන් විසින් ආනයනය කරන ලද වාහන 500ක් පමණ දැනටමත් රේගුවෙන් රඳවාගෙන ඇති නිසා මැයි 27 වැනිදා සිට මේ වන තෙක් එම වාහන කිසිවක් නිදහස් කර නැති බව සඳහන්.
එසේම අඳාළ වාහනවල කිසිදු නීතිමය ගැටලුවක් නැති බවත්, ඒ පිළිබඳව අදාළ සියලු පාර්ශ්වයන් දැනුවත් කර ඇති බවත් රුද්‍රිගු මහතා වැඩිදුරටත් පැහැදිලි කරමින් දක්වයි.
