FCID කැඳවීම හමුවේ ශිරන්ති රාජපක්ෂ විදෙස්ගත වූ බවට පළවන පුවත් අසත්‍ය බව හෙළිවෙයි
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවීමක් තිබියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ රටින් පිටව ගිය බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු පවසයි.
ඔහු සඳහන් කළේ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි. එමෙන්ම, FCID වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මීට පෙර ඇයට කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවද පවුලේ සාමාජිකයකු පැවසූ බව මාධ්‍ය වාර්තා කරයි..
ඔහුට අනුව, අද (16) අලුයම 12.50ට පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානය සඳහා ගුවන් තොටුපළේ ගේට්ටුව ආසන්නයේ රැඳී සිටියදී, ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් අදාළ කැඳවීමේ ලිපිය ඇය වෙත භාරදී තිබේ.
එම ලිපිය ඇයට භාරදී ඇත්තේද ඇය ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුව බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය එළැඹෙන 19 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිත බවද එම පවුලේ සාමාජිකයා සඳහන් කළේය.