පෞද්ගලිකත්වය උල්ලංඝනය කරමින් සංස්කරණය කළ CCTV දර්ශන මුදාහැරීමට එරෙහිව සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්

Report

කොළඹ කිංස්බරි හෝටලයේ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් සංස්කරණය කර අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් වහාම සමාව අයැද එම දර්ශන ඉවත් නොකළහොත් රුපියල් කෝටි 10ක වන්දි ඉල්ලා නඩු පවරන බවට හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා හෝටල් පාලනාධිකාරිය වෙත එන්තරවාසියක් යොමු කර ඇත .

සිය නීතිඥවරුන් මාර්ගයෙන් යොමුකර ඇති මෙම එන්තරවාසිය මඟින් සරත් වීරසේකර මහතා චෝදනා කර ඇත්තේ තම පෞද්ගලිකත්වයට අයුක්තිසහගත ලෙස මැදිහත් වීම, අපහාස කිරීම සහ කීර්තිනාමයට හානි කිරීම සම්බන්ධයෙනි.

දින හතක් ඇතුළත අදාළ ඉල්ලීම් ඉටු කිරීමට හෝටල් පාලනාධිකාරිය අපොහොසත් වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අමතරව පොලීසිය, අන්තර්ජාල ආරක්ෂණ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත ද නිල පැමිණිලි ඉදිරිපත් කරන බව එන්තරවාසියේ දෑක්වේ.

පසුගිය ඔක්තෝබර් 24 වැනිදා ඒ මහතා කිංස්බරි හෝටලයට පැමිණි අවස්ථාවේ පටිගත වූ CCTV දර්ශන සංස්කරණය කර සමාජය නොමඟ යවන ආකාරයෙන් අන්තර්ජාලයට මුදාහැර ඇති බව සරත් වීරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සදහන් කර ඇත.

ඔවුහු චෝදනා කරන්නේ එම දර්ශන මඟින් සරත් වීරසේකර මහතා සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එකම හෝටල් කාමරයකට එකම වේලාවක හෝ ආසන්න වේලාවක ඇතුළු වූ බවට හැඟීමක් ඇති කර තිබෙන බවයි.

හෝටලයේ පාලනය යටතේ පැවති මෙම ආරක්ෂිත දර්ශන අමුත්තන්ගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිවලට පටහැනිව සහ තම සේවාදායකයාගේ අනුමැතියකින් තොරව ඇතැම් ෆේස්බුක් පිටු සහ යූටියුබ් නාලිකා වෙත මුදාහැර ඇති බවටත්, ඒ සඳහා හෝටල් පාලනාධිකාරියේ සම්බන්ධයක් පවතින බවටත් එන්තරවාසියෙන් චෝදනා කර ඇත.

මේ හේතුවෙන් තමන් දැඩි මානසික පීඩාවකට, හිරිහැරයකට සහ අපහාසයකට ලක්ව ඇති බව පවසන සරත් වීරසේකර මහතා, අදාළ දර්ශන මුදාහැරීමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ලිඛිතව කණගාටුව පළ කිරීම, ප්‍රසිද්ධියේ සමාව අයැදීම සහ සියලුම වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කිරීම දින හතක් ඇතුළත සිදුකරන ලෙස ඉල්ලා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සරත් වීරසේකර මහතා සදහන් කරන්නේ මෙවන් අදහසක් අදාළ බෞද්ධ භික්ෂූන් වහන්සේ හෝටලයට වැඩම කර ඇත්තේ එක් දිනයකදී වන අතර, උන්වහන්සේගේ සුවදුක් විමසීම සඳහා තමන් හෝටලයට ගොස් ඇත්තේ ඊට පසු දිනයේදී බවයි

. දින ගණනාවක් පැවති පාද චාරිකාව අතරතුර දැඩි වර්ෂාවට තෙමෙමින් වැඩම කළ භික්ෂූන් වහන්සේලාගේ පාද පැලී තුවාල වී තිබූ බවත්, ඇතැම් හිමිවරුන් ඩෙංගු රෝගයට ද ගොදුරු වී සිටි බවත් ඔහු පැවසීය.

එම භික්ෂූන් වහන්සේලාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍යවරුන් කැටුව ගිය බවත්, නිට්ටඹුව ප්‍රදේශයේදී මෙන්ම රෝහල්වලදී ද උන්වහන්සේලාට අවශ්‍ය උපස්ථාන සිදුකළ බවත් සරත් වීරසේකර මහතා සඳහන් ක‍ර ඇත.

දායකයෙකු විසින් වෙන්කර දෙන ලද හෝටල් කාමරයක උණ රෝගී තත්ත්වයෙන් වැඩසිටි භික්ෂූන් වහන්සේ නමකගේ සුවදුක් විමසීමට තමන් ගියේ ශ්‍රද්ධාවෙන් සහ උපස්ථාන කිරීමේ අරමුණින් බව ද ඔහු සදහන් කරයි

හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ භික්ෂූන් වහන්සේ නමක් වැඩසිටින්නේ හෝටලයකද, විහාරස්ථානයකද, ගල් ගුහාවකද, නිවසකද නැතහොත් ගසක් යටද යන්න තමන්ට අදාළ නොවන බවයි.

එමෙන්ම පාද චාරිකාවේ නිරත වූ භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය උපකාර නොකළ ඇතැම් පිරිස් පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල කිරීම පිළිබඳව ද ඔහු සිය විරෝධය පළ කර තිබේ

පාද චාරිකාවේ නිරත වූ බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කොළඹ කිංස්බරි තරු පහේ හෝටලයේ කාමරයක නවාතැන් ගැනීම සහ සරත් වීරසේකර මහතා එම හෝටල් පරිශ්‍රයට පැමිණීම දැක්වෙන CCTV දර්ශන පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වීමත් සමඟ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී ඇත .

මේ අතර සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් සඳහන් කර තිබුණේ බුදුරජාණන් වහන්සේ යනු රජකම අත්හැර පැවිදි වූ උත්තමයෙකු බැවින් භික්ෂූන් වහන්සේ නමකට රන් පුටුවක හෝ තරු පහේ හෝටල් කාමරයක වැඩසිටීම සම්බන්ධයෙන් ශාසනික සම්ප්‍රදාය තුළ ගැටලුවක් නොමැති බවයි.

උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දායකයෙකු විසින් පූජා කරන ලද හෝටල් කාමරයක භික්ෂූන් වහන්සේ නමක් වැඩසිටීම අසාමාන්‍ය කරුණක් නොවන බවයි 

2025 උසස් පෙළ පදනම් කරගත් විශ්වවිද්‍යාල ප්‍රවේශය අභියාචනා මත තේරී පත් වූවන්ගේ ලියාපදිංචි කිරීම් අරඹයි - අවසන් දිනය මෙන්න

2025 උසස් පෙළ පදනම් කරගත් විශ්වවිද්‍යාල ප්‍රවේශය අභියාචනා මත තේරී පත් වූවන්ගේ ලියාපදිංචි කිරීම් අරඹයි - අවසන් දිනය මෙන්න

ජල ගාස්තු වැඩිවෙනවා කියන කතාවලට අමාත්‍යවරයාගෙන් උත්තර - ඉදිරි මාස කිහිපයේ ජල ගාස්තුවලට වෙන දේ මෙන්න

ජල ගාස්තු වැඩිවෙනවා කියන කතාවලට අමාත්‍යවරයාගෙන් උත්තර - ඉදිරි මාස කිහිපයේ ජල ගාස්තුවලට වෙන දේ මෙන්න