අන්තරාදායක මත්පෙති තොගයක් සමඟ විශ්‍රාමික වෛද්‍යවරයෙකු අත්අඩංගුවට
අන්තරාදායක ඖෂධ පෙති තොගයක් සන්තකයේ තබාගෙන සිටි විශ්‍රාමික වෛද්‍යවරයෙකු සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මිදිගම පොලීසිය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී ‘ප්‍රීගැබලින්’ වර්ගයේ අන්තරාදායක මත්පෙති කරල් 1,270ක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා 70 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු ඇල්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනෙක් සැකකරු 30 හැවිරිදි වියේ පසුවන පෞද්ගලික ආයතනයක භාණ්ඩ ප්‍රවාහකයෙකි. අදාළ ඖෂධය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය නියෝගයකින් තොරව ලබා නොදෙන බැවින්, මෙම වෛද්‍යවරයා සිය නිල හැඳුනුම්පත භාවිත කරමින් මාතර දිස්ත්‍රික්කයේ ඖෂධසැල්වලින් අදාළ ඖෂධ තොගය ලබාගෙන තිබේ.
පසුව ඒවා ඇල්පිටිය ප්‍රදේශයට ගෙන ගොස් වැඩි මිලට අලෙවි කිරීමට මොවුන් සැලසුම් කර තිබූ බව මූලික විමර්ශනවලදී හෙළි විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා, අදාළ මත්පෙති තොගය සහ ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රථය අද (09) මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.