බිඳුණු පවුල් සබඳතා හේතුවෙන් කාන්තාවන් සහ දරුවන් අනාරක්ෂිතයි- අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

Report

බිඳුණු පවුල් සබඳතා හේතුවෙන් කාන්තාවන් සහ දරුවන් අනාරක්ෂිත තත්ත්වයන්ට මුහුණ දෙන අතර, එය ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට ද දැඩි බලපෑමක් එල්ල කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව සඳහන් කළේ ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් “සැබෑ අත්දැකීම්වලට සවන් දෙමු – සැබෑ හඬින් යථාර්ථවාදී වෙනසක්” යන තේමාව යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය එක්ව අද (09) සංවිධානය කළ සැමරුම් උත්සවයට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, මානසික සෞඛ්‍යය වෛද්‍ය විද්‍යාත්මක කරුණක් ලෙස පමණක් සලකා කටයුතු කිරීම ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා බලපාන සමාජීය සාධක ද පුළුල් ලෙස විමසා බැලිය යුතු බවත්ය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක සේවය කරන උපදේශන නිලධාරීන්, රජයේ උපදේශන සේවාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් මානව සම්පතක් බව ද ඇය පෙන්වා දුන්නාය.

සුරක්ෂිත පවුලක ආදරය සහ රැකවරණය ලැබීම වයස් භේදයකින් තොරව සෑම පුද්ගලයකුටම හිමිවිය යුතු අයිතියක් බව අවධාරණය කළ අමාත්‍යවරිය, පවුල තුළ මව, පියා සහ දරුවන් එකිනෙකා වටහා ගනිමින්, අන්‍යෝන්‍ය විශ්වාසය හා අවබෝධය මත සබඳතා ගොඩනඟා ගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය.

එසේම, විශාල ජන සමූහයක් මධ්‍යයේ ජීවත් වුවද මානසිකව හුදෙකලා වන පුද්ගලයන්ගේ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීම උපදේශන සේවාවේ ප්‍රධාන අරමුණක් විය යුතු බව ඇය සඳහන් කළාය. ගැටලුවක් ඇති වූ පසු ඊට ප්‍රතිකාර කිරීම පමණක් නොව, එවැනි ගැටලු ඇතිවීමට බලපාන පවුල්මය හා සමාජීය පසුබිම් හඳුනාගෙන ඒවා වැළැක්වීම කෙරෙහි ද අවධානය යොමු කරන උපදේශන සේවාවක් ගොඩනැඟීම සඳහා රාජ්‍ය නිලධාරීන්, අනෙකුත් ආයතන සහ සිවිල් සංවිධාන එක්ව කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු උපදේශන සේවාව සමඟ සෘජුව කටයුතු කරන ආයතනවල නිලධාරීන්, අමාත්‍යාංශයේ උපදේශන නිලධාරීන්, උපදේශන ක්ෂේත්‍ර සහකාර නිලධාරීන් සහ පාසල් දරු දැරියන් එක්ව සිටියහ.

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

දිස්ත්‍රික්ක පහක ජනතාවට තම ප්‍රදේශයෙන්ම යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම

දිස්ත්‍රික්ක පහක ජනතාවට තම ප්‍රදේශයෙන්ම යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම