ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ දායකත්වයෙන් විස්මිත සොයාගැනීමක් - ''විශ්වයේ ඈත අතීතයෙන් ආ රේඩියෝ සංඥාවක් සොයාගනී''

Report

විශ්වය වසර බිලියන තුනක් පමණ පැරණිව පැවති යුගයකින් නිකුත් වී, වසර බිලියන 10කට වැඩි කාලයක් අභ්‍යවකාශය හරහා ගමන් කර පෘථිවියට ළඟා වූ මෙතෙක් හඳුනාගත් වඩාත්ම ඈත වේගවත් රේඩියෝ සංඥාව සොයාගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥ ආචාර්ය තේමිය නානායක්කාර මහතා දායක වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ නායකත්වයෙන් සිදු කළ මෙම සොයාගැනීම විශ්වයේ පරිණාමය සහ මන්දාකිණි අතර පවතින අදෘශ්‍යමාන පදාර්ථය අධ්‍යයනයට නව අවස්ථාවක් සලසා දෙයි.

මෙම පර්යේෂණයේ ප්‍රතිඵල Science විද්‍යා සඟරාවේ පළ කර ඇති අතර, සිඩ්නි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මනීෂා කාලෙබ් සහ ආචාර්ය තේමිය නානායක්කාර එහි ප්‍රධාන පර්යේෂකයන් ලෙස කටයුතු කර තිබේ.

වසර බිලියන 10කට වැඩි කාලයක් ගමන් කළ සංඥාව

FRB 20240304B ලෙස නම් කර ඇති මෙම වේගවත් රේඩියෝ සංඥාව දකුණු අප්‍රිකාවේ MeerKAT රේඩියෝ දුරේක්ෂය භාවිත කරමින් MeerTRAP පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ හඳුනාගෙන තිබේ.

අනතුරුව නාසා ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් නිරීක්ෂණ මඟින් එම සංඥාව නිකුත් වූ මන්දාකිණිය හඳුනාගෙන එහි දුර තීරණය කිරීමට පර්යේෂකයන්ට හැකි වී ඇත. එම සංඥාව ආරම්භ වී ඇත්තේ විශ්වය වසර බිලියන තුනක් පමණ පැරණිව තිබූ කාලයේදීය.

එම සොයාගැනීම මීට පෙර පැවති දුර වාර්තාව දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉක්මවා යන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මිලි තත්පර කිහිපයකින් විශ්වයේ රහස් හෙළි කරන සංඥා වේගවත් රේඩියෝ සංඥා (Fast Radio Bursts – FRBs) යනු මිලි තත්පර කිහිපයක් පමණක් පවතින, අතිවිශාල ශක්තියක් නිකුත් කරන රේඩියෝ තරංග නිකුත් වීම්ය.

ඒවායේ මූලාරම්භය තවමත් සම්පූර්ණයෙන් පැහැදිලි වී නොමැති අතර, තාරකා විද්‍යාවේ අභිරහස් සංසිද්ධි අතරට මෙම සංඥා අයත් වේ.

''මෙට්‍රෝ බස් රථයේ ගැටුණු පෞද්ගලික බස් රථයට වැඩ වරදී'' - රටම විමසිල්ලෙන් බලා සිටි සිද්ධිය මෙන්න

''මෙට්‍රෝ බස් රථයේ ගැටුණු පෞද්ගලික බස් රථයට වැඩ වරදී'' - රටම විමසිල්ලෙන් බලා සිටි සිද්ධිය මෙන්න

ආචාර්ය මනීෂා කාලෙබ් පෙන්වා දෙන්නේ, වසර බිලියන තුනක් පමණ පැරණි විශ්වයෙන් පැමිණි මෙම කෙටි සංඥාව හරහා, එය වසර බිලියන ගණනක් ගමන් කළ මඟේ හමු වූ පදාර්ථය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමට හැකි වූ බවයි. මෙම සංඥාව නිකුත් කළ මන්දාකිණිය ද පර්යේෂකයන්ගේ විශේෂ අවධානයට ලක්ව තිබේ.

එය සාපේක්ෂව කුඩා, ලෝහමය මූලද්‍රව්‍ය අඩු සහ ඉතා සක්‍රීයව තාරකා නිර්මාණය වන මන්දාකිණියකි.

පර්යේෂණයේ සම කර්තෘවරියක වන ආචාර්ය ලෝරා ඩ්‍රිසන් පෙන්වා දෙන්නේ, එම මන්දාකිණියේ ලක්ෂණ මඟින් වේගවත් රේඩියෝ සංඥා හටගන්නා පරිසරයන් පිළිබඳ වැදගත් ඉඟි ලැබෙන බවයි.

සංඥා හටගන්නා ආකාරය ගැනත් නව ඉඟි

මෙම සොයාගැනීම මඟින් ඇතැම් වේගවත් රේඩියෝ සංඥා, දැවැන්ත තාරකා සුපර්නෝවා පිපිරීම්වලින් පසු බිහිවන, ප්‍රබල චුම්බක ක්ෂේත්‍ර සහිත නියුට්‍රෝන තාරකා වන මැග්නටාර්වලින් හටගන්නා බවට ඇති මතයට අමතර සාක්ෂි ලැබී තිබේ.

මෙම සංඥාව නිකුත් කළ මන්දාකිණිය තරුණ සහ සක්‍රීයව තාරකා නිර්මාණය වන එකක් වීම, පැරණි නියුට්‍රෝන තාරකා එකිනෙක ගැටීම වැනි විකල්ප පැහැදිලි කිරීම්වලට වඩා මැග්නටාර් නිර්මාණය සමඟ ගැළපෙන බව පර්යේෂකයෝ සඳහන් කරති.

මෙම සොයාගැනීමේ තවත් වැදගත්කමක් වන්නේ, මන්දාකිණි අතර විහිදී ඇති වායු සහ පදාර්ථය අධ්‍යයනය කිරීමට මෙවැනි සංඥා භාවිත කළ හැකි වීමයි. එමඟින් සෘජුව නිරීක්ෂණය කිරීම අපහසු විශ්වීය පදාර්ථ ව්‍යුහයන් පිළිබඳ තොරතුරු සොයාගැනීමට හැකි වේ.

ආචාර්ය තේමිය නානායක්කාර පෙන්වා දෙන්නේ, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ සුවිශේෂී හැකියාවන් නිසා මීට පෙර කළ නොහැකි වූ සීමාවන් ඉක්මවා යමින් මෙවැනි පර්යේෂණ සිදු කිරීමට හැකි වී ඇති බවයි.

මෙම පර්යේෂණ කණ්ඩායම දැන් බලාපොරොත්තු වන්නේ, විශ්වයේ මුල්ම තාරකා පරම්පරාවන්ට වඩාත් සමීප යුගයන් දක්වා මෙවැනි සංඥා සොයා යාමටය.

කච්චතිව් පිළිබඳ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණය ධීවර අමාත්‍යවරයාගේ ඇගයීමට

කච්චතිව් පිළිබඳ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණය ධීවර අමාත්‍යවරයාගේ ඇගයීමට