හෝමාගම දියගම වනාන්තරය රක්ෂිතයක් කිරීමට රජයෙන් පියවර
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම පිහිටි දියගම වනාන්තර ප්‍රදේශය එහි ජෛව විවිධත්වය සහ පාරිසරික වැදගත්කම ආරක්ෂා කිරීමේ අරමුණින් වනාන්තර රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා.
අද (9) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මීට දශක දෙකකට පමණ පෙර අත්හැර දමා තිබූ භූමියක් ලෙස පැවති මෙම ප්‍රදේශය කාලයත් සමඟ ස්වභාවිකව වර්ධනය වී වැසි වනාන්තරයකට සමාන පාරිසරික ලක්ෂණ සහිත ප්‍රදේශයක් බවට පත්ව ඇති බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ශීඝ්‍ර නාගරීකරණය හේතුවෙන් වාසස්ථාන අහිමි වූ වන සතුන් කිහිප වර්ගයක් මෙම ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
ශාක හා සත්ත්ව විශේෂ 120කට ආසන්න සංඛ්‍යාවක්
කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් වන එස්. ඩබ්ලිව්. රණවල, ඉලේපෙරුම සහ අබේකෝන් ඇතුළු විද්වතුන් කණ්ඩායමක් සිදුකළ ක්ෂේත්‍ර පර්යේෂණවලදී මෙම ප්‍රදේශයෙන් ශාක හා සත්ත්ව විශේෂ 120කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කළා.
එම විශේෂ අතර ශ්‍රී ලංකාවට ආවේණික ජීවීන් මෙන්ම දුර්ලභ සත්ත්ව විශේෂයක් වන රතු සිහින් ලොරිස් ද සිටින බව සඳහන්.
එමෙන්ම, පැටවුන් බිහිකිරීමට ආසන්න ගැබ්බර සතුන් ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිටීමෙන් වනජීවීන්ගේ පැවැත්ම සඳහා එම වාසස්ථානයේ ඇති වැදගත්කම තවදුරටත් පැහැදිලි වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.
කාබන් අවශෝෂණයටත් ජල පෝෂක ප්‍රදේශයක් ලෙසත් වැදගත්
මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ ජපා - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි මෙම වනාන්තර ප්‍රදේශය, ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීමටත් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමටත් වැදගත් දායකත්වයක් සපයන බව ද ඔහු සඳහන් කළා.
එමෙන්ම, බොල්ගොඩ ජල ද්‍රෝණියේ ජල පෝෂක ප්‍රදේශයක් ලෙස ද දියගම වනාන්තරය වැදගත් වනවා.
ශ්‍රී ලංකාව පැරිස් ගිවිසුම යටතේ 2050 වසර වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන ඉලක්කය ළඟා කරගැනීමට දරන ප්‍රයත්නයට ද මෙවැනි පාරිසරික පද්ධති සංරක්ෂණය කිරීම වැදගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසු, ප්‍රාදේශීය ලේකම්වරයා, රාජ්‍ය නිලධාරීන් සහ පරිසරවේදීන්ගේ සහභාගීත්වයෙන් අදාළ කටයුතු ඉදිරියට ගෙන යාමට නියමිතයි.
අනතුරුව, දියගම වනාන්තර ප්‍රදේශය විධිමත් ලෙස රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.