මෙට්රෝ බස් රථවලට හානි කරොත් දැඩි නීතිමය පියවර
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල ධාවනය වන මෙට්රෝ බස් රථ ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම්වලට එරෙහිව අපරාධ නීතිය සහ පොදු දේපළ පනත යටතේ තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
අතුරුගිරිය මිල්ලෙනියම්සිටි සිට කොළඹ දක්වා ධාවනය වූ මෙට්රෝ බස් රථයක ඉකුත් 6 වනදා අතුරුගිරිය නගරය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හිතාමතාම ගැටීමට සැලැස්වූ බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
'අදාළ පෞද්ගලික බස් රථයේ රියදුරා විසින්ම ඊට පෙරදින රාජගිරිය ප්‍රදේශයේදීද තවත් මෙට්රෝ බස් රථයක් අනතුරට ලක්කර ඇති බවට හෙළිවී ඇත.
මීට අමතරව, මාකුඹුර වාහන අංගනයේදී ඊයේ (08) අලුයම පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු විසින් බස් රථය පසුපසට ධාවනය කර මෙට්රෝ බස් රථයකට හානි සිදුකර තිබේ.
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ කොන්දොස්තරවරයා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති අතර ඔහු සතුව වලංගු රියදුරු බලපත්‍රයක් පවා නොතිබූ බවයි.
මෙට්රෝ බස් රථවල ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම, බුද්ධි තොරතුරු පදනම් කරගනිමින් පොදු ප්‍රවාහන සේවයට බාධා පමුණුවන පිරිස්වලට එරෙහිව අපරාධ නීතිය, මෝටර් වාහන පනත සහ පොදු දේපළ පනත යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.