“තිරිඟු පිටි වැඩි මිලට විකුණන වෙළෙඳුන්ට වැඩ වරදින ලකුණු” - දිවයින පුරා වැටලීම් ගැන අනතුරු ඇඟවීමක්

Report

තිරිඟු පිටි මිල රුපියල් 13කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම්වත් කර නොමැති බවත්, වැඩි මිලට පිටි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.

ඒ අනුව, වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද (21) දිනයේදී දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති බවට අධිකාරියට දැනගැනීමට ලැබුණේ මාධ්‍ය වාර්තා ඔස්සේ බවයි.

මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදු නොවීම හේතුවෙන්, තිරිඟු පිටි නිෂ්පාදන සමාගම්වලින් ඒ පිළිබඳ තොරතුරු විමසා ඊමේල් පණිවුඩ යොමු කර ඇති බවද ඔහු පැවසීය. මිල ඉහළ දැමීමට හේතු වූ කරුණු සහ වැඩි කළ මිල පිළිබඳ විස්තර එමගින් ඉල්ලා තිබේ.

තිරිඟු පිටි මිල ඉහළ දැමීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳවද සභාපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට අනුව තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කර ඇති බැවින්, එහි මිල සංශෝධනය කිරීමේදී අධිකාරිය දැනුම්වත් කර සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතු බව ඔහු සඳහන් කළේය.

එහෙත් මේ දක්වා එවැනි දැනුම්දීමක් හෝ සාකච්ඡාවක් සිදු වී නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව, අදාළ සමාගම්වලින් ලැබෙන පිළිතුරු සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා අතර, වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිවද නීත්‍යනුකූලව කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

කාවන්තිස්ස නැතිව තනිවූ ගල්ගමුවේ අලි රංචුව - හදවත සසළ කරන සංවේදී දර්ශනයක්

කාවන්තිස්ස නැතිව තනිවූ ගල්ගමුවේ අලි රංචුව - හදවත සසළ කරන සංවේදී දර්ශනයක්

ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහන සකස් කිරීමට පත්කළ විශේෂඥ කමිටුව රැස්වෙයි

ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහන සකස් කිරීමට පත්කළ විශේෂඥ කමිටුව රැස්වෙයි