පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් වෙන්වුණු තැනක් නොවෙයි - අගමැති
පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්යාපනය ලබා දෙන ස්ථානයක් නොවන බවත්, නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ ජීවිතයට වටිනාකම් දරුවන් තුළ වර්ධනය කරන ස්ථානය බවට පාසල පත්විය යුතු බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයීය වාර්ෂික ත්යාග ප්රදානෝත්සවය සඳහා ඊයේ (30) එක්වෙමින් අග්රාමාත්යවරිය සඳහන් කළේ විභාගවලින් ඉහළ ප්රතිඵල ලබාගන්නා දරුවන්ට පමණක් නොව ක්රීඩාව, කලාව සහ විෂය සමගාමී ක්රියාකාරකම්වල නිරත වන දරුවන්ගේ හැකියාවන් ද නිසි ලෙස ඇගයීමට ලක් කිරීම වැදගත් වන බවයි.
මෙහිදී විශේෂයෙන්ම උසස් පෙළ ශ්රේණිවල පිරිමි දරුවන් පාසල් අධ්යාපන පද්ධතියෙන් ක්රමයෙන් ගිලිහී යාම පිළිබඳව ගැඹුරින් සොයා බැලීමේ අවශ්යතාව ද ඇය අවධාරණය කළාය.
වේගයෙන් වෙනස් වන ලෝකය හමුවේ දැනුම සහ තාක්ෂණය දිනෙන් දින යාවත්කාලීන වන බැවින්, ජීවිත කාලය පුරා ඉගෙනීමට සහ සමාජය නිවැරදිව තේරුම් ගැනීමට ඇති ශක්යතාවන් වර්ධනය කර නොගතහොත් ඉදිරියේදී ලෝකය ජය ගැනීම දුෂ්කර වන බවත්, දරුවන් පාසල තුළ රඳවාගත හැකි ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම පාසල් පද්ධතියේ වගකීමක් බවත් අග්රාමාත්යවරිය වැඩිදුරටත් පැවසුවාය.