ගිනි ගණන් ගිය ඉන්ධන මිල නිසා ඉන්ධන කප්පාදු කිරීමට දැඩි ක්‍රියාමාර්ග මාලාවක් - ඉන්ධන දීමනා 50%න් අඩුකරයි - කඩ සාප්පු රාත්‍රී 9ට වසයි
ගල්ෆ් ගැටුම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බලශක්ති සංරක්ෂණය කිරීමේ උත්සාහයක් වශයෙන් පාකිස්තාන රජය රාජ්‍ය වියදම් පාලනය කිරීම සහ ඉන්ධන සංරක්ෂණය සඳහා දැඩි ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඊයේ (17) දින නිකුත් කළ කැබිනට් අංශයේ නිවේදනයකට අනුව, රාජ්‍ය වාහන සඳහා වෙන්කරන ඉන්ධන ප්‍රමාණය 50%කින් අඩුකර ඇති බව වාර්තා වේ.
එහෙත් සන්නද්ධ හමුදා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අත්‍යවශ්‍ය සේවා සහ ෆෙඩරල් මණ්ඩල ආදායම් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා මෙම සීමාව අදාළ නොවන බව සඳහන්.
එම නිවේදනයට අනුව 2026/27 මූල්‍ය වර්ෂය සඳහා පුනරාවර්තන නොවන වියදම්, අයවැයෙන් මාසිකව 5%ක් අඩු කිරීමටද තීරණය කර ඇත. එමෙන්ම නව වාහන මිලදී ගැනීම සහ ඇතැම් කල් පවත්නා භාණ්ඩ මිලදී ගැනීමද තාවකාලිකව තහනම් කර තිබෙන අතර, සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම සීමා අදාළ නොවන බවත් අඳාළ නිවේදනයේ දැක්වේ.
තවද විදේශ සංචාර සහ විදේශ ගමන් මාස 3ක කාලයකට අත්හිටුවා තිබෙන අතර, අත්‍යවශ්‍ය සංචාර සිදුකිරීමට සිදුවුව හොත් අමාත්‍යවරුන්, උපදේශකවරුන් සහ අනෙකුත් අදාළ නිලධාරීන් ගුවන්යානවල සාමාන්‍ය මගීන් ගමන්කරන පන්තියේ ගමන් කළ යුතු බවටද උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම රාජ්‍ය ආයතනවල රැස්වීම් හැකිතාක් දුරට දුරස්ථ සම්මන්ත්‍රණ ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමටත්, විදේශ නියෝජිත පිරිස් පැමිණෙන අවස්ථා හැර රාජ්‍ය නිල භෝජන සංග්‍රහ නොපැවැත්වීමටත් තීරණය කර ඇත.
මේ අතර රජයේ මුදලින් පැවැත්වෙන නිල සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන් සහ සම්මන්ත්‍රණද තහනම් කර තිබෙන අතර, අත්‍යවශ්‍ය අවස්ථාවලදී රජයේ ශ්‍රවණාගාර, කමිටු කාමර සහ අනෙකුත් නිල පහසුකම් භාවිත කරන ලෙසත් දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඊට අමතරව විවාහ උත්සව හා ඒ ආශ්‍රිත අවස්ථාවලදී එක් ආහාර වර්ගයක් පමණක් ලබාදිය යුතු බවටද නියම කර ඇත. අඳාළ නිවේදනයේ තවදුරටත් පාකිස්තානයේ ව්‍යාපාරික හා වාණිජ ආයතන සඳහා දැනට ක්‍රියාත්මක වෙළඳසැල් වසා දැමීමේ වේලාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බව සඳහන්.
අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා
එබැවින් සාමාන්‍ය වෙළෙඳසැල්, වෙළෙඳපොළ සහ සාප්පු සංකීර්ණ රාත්‍රී 9ටත්, උත්සව පැවැත්වෙන ස්ථාන රාත්‍රී 10ටත් වසා දැමිය යුතු වේ.
ආපනශාලා, කැෆේ සහ ආහාර අලෙවිසැල් රාත්‍රී 11.00 දක්වා විවෘතව තැබිය හැකි අතර, එම සීමාවෙන් takeaway සහ home delivery සේවා නිදහස් කර ඇත.
එමෙන්ම ඖෂධහල්, රෝහල්, සායන, වෛද්‍ය සැපයුම් අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල්, විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන, ජිම් සහ ක්‍රීඩා පහසුකම් ඇතුළු ඇතැම් සේවා මෙම සීමාවෙන් නිදහස් අතර මෙම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවලදී තනි තනි සිද්ධි පදනම මත නිදහස් කිරීම් සලකා බැලිය හැකි බවද පාකිස්තාන රජය සඳහන් කරයි.
කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේදී පාකිස්තානය ද එවැනිම පියවරයන් හඳුන්වා දුන් අතර, පාසල් සති දෙකක් වසා දැමීම, රජය පුරා ඉන්ධන භාවිතය අඩු කිරීම සහ ඉන්ධන සංරක්ෂණය කිරීම සහ රජයේ වියදම් කපා හැරීම සඳහා කාර්යාල සේවකයින් නිවසේ සිට වැඩිපුර වැඩ කිරීමට පෙළඹවීම යන පියවරයන් අනුගමනය කර තිබුණා.