සෞඛ්‍ය ක්ෂේත්රයට සුබ ආරංචියක් - අලුත් ගිලන් රථ මිලදී ගැනීමට අයවැයෙන් මුදල් [VIDEO]
සෞඛ්‍ය ක්ෂේත්රයේ ඩිජිටල්කරණ කටයුතු රට පුරා සම්බන්ධීකරණයක් සහිතව පුළුල් කිරීමට රජය බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එමෙන්ම ඉදිරි වසර දෙක තුළ ගිලන් රථ මිලදී ගැනීම සඳහා ඊළඟ අයවැයෙන් සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය ක්ෂේත්රයට තාක්ෂණය එක්වීමත් සමඟ ජනතාවට නිවසේ සිටම තම සෞඛ්‍ය වාර්තා ලබාගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රෝහල්වල ක්‍රියාත්මක වන ඩිජිටල් පද්ධති රට පුරා සම්බන්ධීකරණයක් සහිතව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.
ලෝකයේ සෞඛ්‍ය පද්ධති තාක්ෂණය සමඟ වේගයෙන් නවීකරණය වෙමින් පවතින බවත්, රෝහල්වල පෝලිම්වල රැඳී නොසිට අංකයක් ලබාගෙන ක්ලික් කිරීමකින් අවශ්‍ය සේවා ලබාගත හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍යවලට තිත තියන්න ජනතාවට දැනුම්දීමක් - දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන ලෙස නිල වෙබ් අඩවියක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු වේගවත්ව සිදුවෙමින් පැවතියද, ඩිජිටල්කරණය රට පුරා ව්‍යාප්ත කිරීම තවදුරටත් වේගවත් කළ යුතු ක්ෂේත්රයක් බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, එක් එක් රෝහල්වල ක්‍රියාත්මක වන ඩිජිටල් පද්ධති රට පුරා සම්බන්ධීකරණයක් සහිතව ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.
මේ අතර, මෙරට ගිලන් රථ බලඇණිය ඉතා පැරණි තත්ත්වයක පවතින බැවින් ඒවා අලුත් කිරීම සඳහා ඉදිරි අයවැයෙන් සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
''අපේ ගිලන් රථ බලඇණිය ඉතාම පරණයි. මේ පහුගිය නේද ඔක්තෝබර් සැප්තැම්බර් සාකච්ඡා කරනකොට ඉලක්කම් ටික ගෙනාගත්තා අවුරුදු 15-20 පැරණි.'' ඒ අනුව ඉදිරි වසර දෙක තුළ ගිලන් රථ මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ද ලබන වසරේදී තවත් මූල්‍ය ප්‍රතිපාදන ලැබීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම දැනට භාවිත කරන ඇතැම් වෛද්‍ය උපකරණ පැරණි තත්ත්වයේ පවතින බැවින් ඒවායින් සැලකිය යුතු ප්‍රමාණයක් එකවර ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ද වෙන් කර ඇති බව ඔහු පැවසීය.
මීට අමතරව මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණයේ කටයුතු ද ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.