ප්‍රගීත් එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් - විත්තියේ තීරණය හෙට
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නවදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කළ බව නීතිපතිවරයා අද (05) අධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ අංක 121/1, විජේරාම මාවතේ පිහිටි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී සභාපති විනිසුරු නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.
පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසන් කිරීමෙන් පසු විත්තියේ නීතිඥවරුන් විසින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවල පැවති බව කියන අතහැරීම් අධිකරණය හමුවේ ඉදිරිපත් කළහ. එහිදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට සූදානම් බව විත්තියේ නීතිඥවරු වැඩිදුරටත් සඳහන් කළහ.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තියට අනුව පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂිවලින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් පදනමක් නොමැති නම්, විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමට විත්තියට නෛතික ඉඩකඩ හිමිවේ.
ඒ අනුව නඩුවේ වැඩිදුර කටයුතු හෙට (06) දින දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.