මත්ද්‍රව්‍යවලට තිත තියන්න ජනතාවට දැනුම්දීමක් - දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන ලෙස නිල වෙබ් අඩවියක්
විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් මුලිනුපුටා දැමීමේ ජාතික වගකීම පෙරදැරිව ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ නිල වෙබ් අඩවිය වන www.1818.gov.lk ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල ලෙස විවෘත කර ඇත.
ඒ අනුව "එකට නැගී සිටි වසරක් – ඉවත්වෙමු මෙහෙයුමේ වසරක ඇගයුම" සර්වාගමික සමුළුවට සමගාමීවයි මෙම වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම සිදු කර ඇති බව සඳහන්.
එමෙන්ම මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික නායකයින්, මැති ඇමතිවරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් සහභාගී වී ඇත.
මෙම වෙබ් අඩවිය හඳුන්වා දීමේ මූලික අරමුණ නම් රට අභ්‍යන්තරයේ මෙන්ම ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය මැඩපැවැත්වීමට මහජනතාවට තොරතුරු ලබා දීමටත්, ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමටත් විධිමත් ක්‍රමවේදයක් සැකසීමයි.
ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන ලෙස සක්‍රීය කර ඇති මෙම වෙබ් අඩවිය ඔස්සේ සැක කටයුතු මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු තම අනන්‍යතාව හෙළි කරමින් හෝ පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා වන ලෙස (Anonymously) සෘජුවම අදාළ අංශ වෙත වාර්තා කිරීමේ පහසුකම ජනතාවට සලසා දී ඇත.
එයට අමතරව පැය 24 පුරා ක්‍රියාත්මක 1818 ක්ෂණික දුරකථන අංකය හරහා ද මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දිය හැකි අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සහ උපදේශන සේවා වෙනුවෙන් යොමු කිරීමට 1927 ක්ෂණික ඇමතුම් අංකය ද මේ සමඟ සම්බන්ධ කර ඇත.
එසේම දිවයින පුරා ආරක්ෂක අංශ මඟින් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය වැටලීම්, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පිළිබඳ නිල සංඛ්‍යා ලේඛන මෙන්ම පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ තොරතුරු ද සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ජනතාවට මෙම වෙබ් අඩවිය හරහා පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දී ඇති බව සඳහන්.