බුලත්විට සමඟ දුම්කොළ අලෙවියට නීතිය දැඩි කිරිමට මහජන පරීක්ෂකවරුන් සැරසෙයි
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, 2006 අංක 27 දරන දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට අනුව මෙම පියවර ගන්නා බවයි. 2016 වසරේ සැප්තැම්බර් මාසයේ නිකුත් කළ ගැසට් නිවේදනයේ පළමු උපලේඛනයට අනුව මෙරට තුළ දුම් රහිත දුම්කොළ නිෂ්පාදන අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මෙම නීතිය බුලත්විට අලෙවි කරන පුද්ගලයින් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ගෙන ඇති පියවරක් නොවන බවත්, ජනතාව මුඛ පිළිකා අවදානමෙන් ආරක්ෂා කිරීම සඳහා හඳුන්වා දුන් නීතියක් බවත් උපුල් රෝහණ මහතා පැවසීය.
මෙරටින් වාර්ෂිකව මුඛ පිළිකා රෝගීන් 1,750ත් 1,900ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව, අදාළ නීතිය යළිත් සක්‍රීයව ක්‍රියාත්මක කර ජනතාව මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීම මහජන පරීක්ෂකවරුන්ගේ අරමුණ බවද ඔහු පැවසීය.
දුම්කොළ සහ මධ්‍යසාර ජාතික අධිකාරී පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීමකදී රුපියල් 2,000ක දඩයක් හෝ මාස හයක සිරදඬුවමක් නියම කළ හැකි බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙරට සංස්කෘතික පසුබිම සැලකිල්ලට ගනිමින් මෙතෙක් මෙම පනත යටතේ සෘජු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පමණක් සිදුකළ බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, ජනතාවට අවශ්‍ය දැනුවත් කිරීම් සහ නිවැරදි වීමට ප්‍රමාණවත් කාලයක් ලබාදී ඇති බැවින් ඉදිරියේදී අදාළ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එමෙන්ම, දුම් සහිත දුම්කොළ නිෂ්පාදන අලෙවිය සඳහා නීතියෙන් අවසර ලබාදී ඇති බවද උපුල් රෝහණ මහතා අවධාරණය කළේය.