දුම්රිය වර්ජනයට නොගොස් සේවය කළ නිලධාරීන්ට ඇමතිගෙන් විශේෂ ස්තුතියක්
වර්ජනය මැද දුම්රිය සේවය රැකගත් නිලධාරීන්ට නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රශංසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් පැවති අවස්ථාවේදී දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කැපවී කටයුතු කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන්ගේ සේවය විශේෂයෙන් අගය කළ යුතු බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය සේවයට බලපෑම් එල්ල වුවද, සේවකයන්ගේ කැපවීම හේතුවෙන් ජනතාවට අවශ්‍ය දුම්රිය සේවා හැකි උපරිමයෙන් පවත්වාගෙන යාමට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ ඊයේ (17) දිනයේදී පමණක් දුම්රිය ගමන්වාර 187ක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවද ඔහු පැවසීය. එමෙන්ම, යාල් දේවී ඇතුළු යාපනය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය සේවා අද (18) දිනයේදී පවත්වාගෙන යාම සඳහා සේවයට එක්වූ නිලධාරීන් සහ සේවකයන් ලබාදුන් දායකත්වයද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.
මගී ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් දුම්රිය සේවය පවත්වාගෙන යාම සඳහා ඇතැම් නිලධාරීන් පැය 24කට ආසන්න කාලයක් අඛණ්ඩව රාජකාරියේ නිරතව සිටි බවද සඳහන් වේ. සාමාන්‍යයෙන් විශාල සේවක පිරිසක් එක්ව සිදුකරන ඇතැම් දුම්රිය මෙහෙයුම් කටයුතුද මෙවර ඉතා සීමිත සේවක පිරිසක් යොදාගෙන සිදුකර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දුෂ්කර අවස්ථාවකදී මහජන සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වගකීම භාරගත් නිලධාරීන් සහ සේවකයන්ගේ කැපවීම සාමාන්‍ය රාජකාරියක් ලෙස පමණක් නොසැලකිය යුතු බවත්, ඔවුන් රජයේ මෙන්ම දුම්රිය මගී ජනතාවගේද ගෞරවයට පාත්‍ර විය යුතු බවත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කළේය.