යුක්‍රේනයේ මුර සංචාරක පොලිස් ප්‍රධානී ධුරය අත්හරී
යුක්‍රේනයේ අගනුවර වන කියිව්හිදී සිදුවූ මාරාන්තික වෙඩි තැබීමකදී, සිවිල් වැසියන් අතහැර එම ස්ථානයෙන් පලා ගිය බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් එරට මුර සංචාරක පොලිස් ප්‍රධානී යෙව්ගන් ෂුකොව් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පසුගිය සෙනසුරාදා කියිව් නුවර දකුණු දිග හොලොසිව්ස්කි දිස්ත්‍රික්කයේදී පුද්ගලයෙකු අත්තනෝමතික ලෙස වෙඩි තැබීමක් සිදු කරනු ලැබුවා. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලැබුවා.
ප්‍රහාරකයා අසල සුපිරි වෙළඳසැලක පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන තිබූ අතර, පසුව පොලිසිය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවකදී ඔහු ජීවිත්කෂයට පත් වුණා. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පිරිසක් සිවිල් වැසියන් අනතුරේ දමා එම ස්ථානයෙන් පලා යන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර මෙය දැඩි ජනතා විවේචනයට ලක් වුණා.
යුක්රේන බලධාරීන් පවසන්නේ මෙම සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශනය කරන බවයි. පොලිස් ප්‍රධානී ෂුකොව්: ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් ඔහු පැවසුවේ, අදාළ නිලධාරීන් "තත්ත්වය නිසි ලෙස තක්සේරු කිරීමට අසමත් වූ අතර සිවිල් වැසියන් අනතුරේ හෙලූ" බවයි. ඔවුන් ක්‍රියා කළේ "වෘත්තීය නොවන සහ නින්දිත ආකාරයකින්" බව ද ඔහු ප්‍රකාශ කළා.