කහවත්තේදී පොලීසියත් එක්ක ගම්වාසින් මාර ගනියි, පාලනය කරන්න කඳුළු ගෑසුත් ගහලා
අද (03) දින පස්වරුවේ දී මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව පොලීසියට තොරතුරු ලබාදීම නිසා ඝාතනය වූ බව කියන කහවත්ත ප්‍රදේශයේ 22 හැවිරිදි ඉමන්ත සුරංජන් නැමති තරුණයාගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු එම පවුලේ සුසාන භූමියේදී සිදු කර ඇති බව වාර්තා වේ.
එහිදී අවසන් කටයුතුවලින් පසුව පොලීසිය සහ ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව සඳහන්.
මේ තත්ත්වය ඇතිව තිබෙන්නේ පොලිස් නිලධාරීන් 150ක පමණ පිරිසක් ගමේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබූ පසුබිමක බව පවසයි.
කෙසේ වෙතත් මෙහිදී ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතීන් සහ ගම්වාසීන් එක්ව පොලීසියට දෝෂාරෝපණය කරමින් ගල් මුල් ප්‍රහාරයක් එල්ලකර ඇත.
අනතුරුව ප්‍රහාර හමුවේ පොලීසිය ප්‍රදේශයෙන් ඉවත්වී තිබුණත් පසුව අනු ඛණ්ඩ යොදවා ගම්වාසීන් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇති බවට වාර්තා වේ.
මෙම කඳුළු ගෑස් ප්‍රහාර නිසා ගම්වාසීන් කිහිපදෙනෙක් තුවාල ලබා තිබෙනවා. එසේම තරුණයාගේ ඝාතනය පිළිබඳව චෝදනා එල්ල වූ පුද්ගලයාගේ නිවසේ තිබූ ත්‍රීරෝද රථයකට යම් පිරිසක් ගිනිතබා ඇති බවත් පවසයි.
පසුගිය 30 වන දින රාත්‍රීයේ කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක සහෝදරයන් දෙදෙනෙක් තවත් තරුණයෙක් හා කතාබහ කරමින් සිටින අතරතුරදී මෙම සිද්ධියට මුහුණදී ඇති බව වාර්තා විය.
එම අවස්ථාවේදී පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් තරුණයන් දෙදෙනාව පැහැරගෙන ගොස් එහි එක් තරුණයෙක් වෙඩිතබා ඝාතනය කර ඇත.
මේ අතර පැහැර ගැනුණු අනෙක් තරුණයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල නිසා රොහල්ගත කළ බව ද සඳහන්.
